Subtitle

මමතුමාට හිතෙන පිස්සු මමතුමාගේ වචන වලින් මමතුමාම ලියන මමතුමාගේ වැයික්කිය...! ඇයි අවුල්ද?? :D

Sunday, June 11, 2017

නිදහස් අධ්‍යාපනය හා කුහක කම

මිනිසාට උපතේදී හිමිවන, මරණින් මතුවටත් වලංගු වන අයිතිවාසිකම් ගණනාවකි. නානාවිධ එවන් අයිතීන් අතර අධ්‍යාපනයට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. විශේෂයෙන්ම ලාංකීය සන්දර්භය තුල අධ්‍යාපනය යනු එක්තරා ආකාරයක "ගොඩයාමේ" මාර්ගයක් ලෙස අරුත් නිරූපණ ලබා ඇති බව අපි දනිමු. මේ කියන ගොඩයාම හා ඒ හා බැඳුනු කරුණු කාරණා කවරාකාර වුවද වර්තමාන සමාජ සන්දර්භය තුල මෙම කාරණය යම්තාක් දුරකට හෝ සත්‍ය වන බවද අපට අවිවාදයෙන් පිළිගත යුතුව ඇත.
මෙහි ඉතිරිය සම්පූර්ණ කරනට මතුයෙන් මම මා ගැන මදක් කතා කරනට කැමැත්තෙමි. මම මේ මොහොත වන විට මෘදුකාංග නිෂ්පාදනය හා සම්බන්ධ ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස සේවය කරමින් සිටිමි. ඒ තැනට පැමිණ සිටින මම, පෞද්ගලීකරණය වූ නිදහස් අධ්‍යාපනයක් ලබා එම ස්ථානය අත් කරගත්තෙක් වෙමි. ඒ, අන්තර්ජාතික විශ්ව විද්‍යාල වර්ගීකරණයේ, මේ වන විට අප රටේ ඉහළම තත්වය හිමි කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණවේදී උපාධිය බාහිර ශිෂ්‍යයෙකු ලෙස සම්පූර්ණ කිරීමෙනි (ඔව්! බාහිර, ඒ කීවෙ එක්ස්ට(ර්)නල්). එය ලබා ගත්තේ ඒ සඳහා විශ්ව විද්‍යාල ලියාපදිංචි, විභාග හා ඇගයීම් ගාස්තු ලෙස කොළඹ විශ්වවිද්‍යාලයට රු.60000.00 කට වැඩි මුදලක් ද, දේශන හා නිබන්ධන ගාස්තු ලෙස, රටේ නම ගිය පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකට ආසන්න වශයෙන් රු.150000.00 මුදලක් ද ගෙවීමෙන් අනතුරුවය. සමස්ත වශයෙන්, රටේ නිදහස් අධ්‍යාපනයට පින් සිදුවන්නට, එම අධ්‍යාපන සුදුසුකම ලබා ගැනීම සඳහා මට ආසන්න වශයෙන් රු. 210000.00ක් පමණ වියදම් කරන්නට සිදුවිය. 
මේ ගණන් මිනුම් මෙලෙසින් ලියා දැක්වූයේ, මාගේ කෙරුවාව ගැන හෝ මාගේ ක්‍රය ශක්තිය පිළිබඳව පම්පෝරි ගසන්නට නොවේ. එමෙන්ම ඒ වියදම කිරීමට සිදුවීම ගැනවත්, කොළඹ විශ්වවිද්‍යාලය මාගෙන් මුදල් අයකිරීම පිළිබඳව වත් මට කිසිදු අන්දමක තරහක්, ක්‍රෝධයක් නැත. මා මේ කතාන්දරය කීවේ අද කාලේ අපේ රටේ ඩිග්ගිරියක් ගහන්නට යන අයෙකුට දරාගන්නට වෙන සන්තෑසිය ගැන ඉතා කුඩා අදහසක් ඔබට ලබාගන්නටය. ලංකාවේ වත්මන් තෘතීයික අධ්‍යාපන පද්ධතිය තුළ මේ රු.210000.00 යනු මගේ දැනුමේ හැටියට අවමතර වියදම වේ. මෙම ගණන, තමුන් හදාරන විෂය පථය අනුව වෙනස් වේ. බොහෝ පෞද්ගලික ආයතන තුල මෙම ගණන 3න් හෝ 4න් ගුණ කල යුතුය. වැරදීමකින් හෝ විෂයක් අසමත් වුවහොත් නැවත දේශන ගාස්තු සහ විභාග ගාස්තු වෙන වෙනම ගෙවිය යුතුය. බෝඩින් ගාස්තු ගෙවිය යුතුය. කන්නට බොන්නට වියදම් කළ යුතුය. මෙකී නොකී සියල්ලම එකතු කොට ගත් කල, සමහර අයෙකු අධ්‍යාපනය සඳහා කරන වියදම (හෝ ආයෝජනය ) රු. මිලියන 1.5කුත් ඉක්මවිය හැක. මෙය පෞද්ගලික වෛද්‍ය උපාධියක් නම් ඉහත කී මිලියන 1.5 තවත් හයේ සිට දහය දක්වා ගණනකින් අනිවාර්යයෙන්ම ගුණ කල යුතුය. අධ්‍යාපන සුදුසුකමක් පෞද්ගලික අංශයෙන් හිමිකරගන්නට යන තැනැත්තෙකුට හැප්පෙන්නට සිදුවන මූල්‍යමය අභියෝගය හා සම්බන්ධ ඉලක්කම් ඒ පරිදී වේ.
සයිටම් (SAITM) නැතහොත් තාක්ෂණය සහ වෛද්‍ය විද්‍යාව සඳහා වන දකුණු ආසියාතික ආයතනය, වත්මන් ලංකාවේ සියළුම ක්ෂේත්‍ර වල බරපතල ආන්දෝලනයකට තුඩු දී ඇති මාතෘකාවකි. ඊයේ පෙරේදා දිනෙක මා දුටු හැටියට කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන්, ඔවුන් විසින් කොළඹ වෛද්‍ය පීඨය ඉදිරි පස පාර අයිනේ අටවාගත් පැලක වාසයට පැමිණ දින 493කි. පේරාදෙණිය වෛද්‍ය පීඨ සිසුන් මහපාරේ වාසයට සපැමිණ ද එතරම්ම කලක් ගත වී ඇත. පේරාදෙණිය ගලහ මංසන්ධිය, කොළඹ කොටුව හා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට, කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල ආදී මෙකී නොකී ස්ථානවල කෙළවරක් නැති උද්ඝෝෂණ පෙළපාලි ය. පොලිස් කැරලි මර්දන ඒකකයට බවුසර් වලට වතුර පිරවීමෙන්, කඳුළු ගෑස් ගැසීමෙන්, රබර් උණ්ඩ වලින් වෙඩි තැබීමෙන්, බැටන් පොලු ප්‍රහාර දියත් කිරීමෙන් කෙළවරක් නැත. පාරේ එදිනෙදා වැඩට යන අපට කඳුළු ගෑස් කෑමෙන්, රථවාහන තදබද තුල කාලය, ශ්‍රමය හා ධනය කාබාසිනියා කර ගැනීමෙන් සහ අතොරක් නැතිව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දත කට විකාගෙන විප්ලව කරන, මහපාරේ යකා නටන "අන්තරේ උත්තමයන්ගේ" නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් බදු ගෙවීමෙන් කෙලවරක්ද නැත.
ඕනෑම රටක, නැතහොත් ඕනෑම අධ්‍යාපන පද්ධතියක ඇති මූලික අභිමතාර්ථ තුනකි. ඒවා නම්
  1. දැනුම
  2. කුසලතා
  3. ආකල්ප
යනාදී වශයෙන් වේ. රොබට් ග්වෝ (Robert Kuok) යනු වර්තමාන මැලේසියාවේ අංක එකේ ධනවතා වේ. ෆෝබ්ස් (Forbes) සඟරාවට අනුව 2016 මාර්තු මස වන විට ඔහුගේ මුළු වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 11.3ක් ව පැවතුනි. ඔහු වරක් පැවසූ පරිදී "When I hire I look for great attitudes. I don't look for MBAs or PhDs." තේරෙන සිංහලෙන් කිවහොත්, ඔහුගේ සමාගම් වලට බඳවා ගැනීමේදී, අධ්‍යාපන සුදුසුකම් වලට වඩා වැඩි තැනක් යහපත් ආකල්ප වලට හිමිවන බවය. එමෙන්ම, ප්‍රකට ලේඛකයෙකු සහ අභිප්‍රේරණ කථිකයෙකු (motivational speaker) වන සයිමන් සිනෙක් (Simon Sinek) ට අනුව "You don't hire for skills, you hire for attitudes. Skills you can always teach." නොහොත්, ඔබව රැකියාවකට බඳවා ගැනීමේදී වඩා වැඩි බරක් හිමිවනුයේ ඔබගේ ආකල්ප වලට මිස ඔබගේ කුසලතාවන්ට නොවේ. මන්ද කුසලතාවක් අත්පත් කරගැනීමට නම් හොඳින් පුහුණුව ලැබීම පමණක් ප්‍රමාණවත් වේ. යහපත් ආකල්ප ඇති අයෙකුට එම පුහුණුව ලබාදීම සහ එය සම්පූර්ණ කිරීම කජු කනවා හා සමාන සෙල්ලමක් වේ. අවශ්‍ය වනුයේ යහපත් ආකල්ප සමග හොඳ මූලික දැනීමක් පමණි.
මෙකී ආකල්ප පිළිබඳව කතාව මදකට පසෙකින් තබා, මීට මාස කිහිපයකට පෙර මාගේ නෙත ගැටුණු මෙම බ්ලොග් ලිපිය දෙසට ඔබේ අවධානය මෙතැන් පටන් ගෙනයනු කැමැත්තෙමි. සත්‍ය වශයෙන්ම මෙම ලිපිය, එය අඩංගු බ්ලොග් අඩවිය පවත්වාගෙන යනු ලබන ෆාතිමා හනිෆා මෙනෙවියගේ අදහස් නොව, කොළඹ වෛද්‍ය පීඨයේ තෙවන වසරේ සිසුවෙකු විසින් ලියන ලද්දකි (තෙවන වසර යන්න bold කර underline කර ඇත්තේ ඇයි? එයට පිළිතුර පසුව බලාපොරොත්තු වන්න). එම කරුණු මේ බ්ලොග් අඩවිය හා ඈඳා ඇති බව පෙනේ. එම ලිපියේ මාතෘකාව ලෙස යොදා තිබුණේම අතිශය රසවත් වචන තෝරාගැනීමක් වන "කුහකයින් කීමට පෙර කියවන්න! ඔබ දැනුවත්ද? " යන්නය. මෙතුවක් කලක් මෙම ප්‍රශ්නය හා සම්බන්ධව කට නොඇර සිටි මම, මෙම ලිපිය දෙතුන් වරක් මුල සිට අගට කියවීමෙන් අනතුරුව, මේ ලියන්නේ ඉහත කී ලිපියේ අඩංගු, නිර්ව්‍යාජ, අවංක කමේ බැටළු හම තුල සැඟවගත් කුහක කමේ හිවල් ගතිය පෙන්වාදෙන්නටය. කරුණාකර මතක තබාගන්න! මේ ප්‍රහාරය "දොස්තරලාට" එරෙහිව මිස "ජීවකයන්ට" එරෙහිව නොවේ. මේ කරන්නේ වෛද්‍ය වෘත්තීයේ බර හෑල්ලු කිරීමක් නොවේ. එසේත් නැතිනම් SAITM මත සුදුහුණු ගෑම නොවේ. SAITM කෙරුවාව හරියන්නේ නැති බවට තර්ක දෙකක් නැත. කරුණාකර වල්ගය පාගාගැනීමෙන් වලකින්න! මේ කියන්නේ අනෙක් විෂයයන් ද වෛද්‍ය වෘත්තිය තරම්ම අමාරු, අසීරු බව මිසක් වෛද්‍ය වෘත්තිය ලේසිය කියා නොවේවැඩේට බහිමු!
ඉහත ලිපියේ පටුනට පසුව ඇති ඡේදයේ, පස්වන වාක්‍යය දෙස බලන්න. එය "තව කෙනෙකුගේ ජීවිතය පිළිබද තීරණ ගැනීමේ බලය මුදලට විකිණීමද වඩා සාදාරන නැතිනම් සුදුස්සාට එය ලබා දීමද?" යනාදී වශයෙන් වේ. එහි කිසියම් අවුලක් ඇති  බව ඔබට පෙනේද? තවමත් නොදුටුවේනම් යටි ඉරකින් සලකුණු කර ඇති වාක්‍යාංශය දෙස නැවත බලන්න. මා දන්නා පරිදී වෛද්‍යවරයෙකුට ඇත්තේ ජීවිත ජීවත් කරවීම පිළිබඳ "වෘත්තීයමය වගකීමක් හා වගවීමක් (professional responsibility and accountability)" මිස, ජීවිත පිළිබඳ "තීරක බලයක් (decisive power)" නොවේ. එම වචන භාවිතය අත්වැරදීමකැයි කෙනෙකුට තර්ක කල හැක. එසේනම් එය නැවත නැවත සිදුවන "යකාගේ මහා එකාගේ ජාතියේ" අත්වැරදීමක් විය යුතුය. මන්ද, එකම වරද නැවත නැවතත් සිදුවී තිබේ. තවෙකෙකුට එය වචනයේ තේරුම හරිහැටි නොදැනීම නිසා සිදුවූ වරදක් ලෙස එය අර්ථකථනය කල හැක. වචන වල තේරුම නොදන්නේ නම් එක්කෝ නිවැරදි තේරුම සොයාගෙන, තැනට ගැලපෙන නිවැරදි වචන භාවිත කල යුතුය. එසේ නොහැකිනම් නොදන්නා දෙමළෙට ගිහින් වරිගය නසා නොගෙන වැඩක් බලාගෙන සිටිය යුතුය. එක් පුද්ගලයාට  හිමි කර්ම ශක්තියට සහ චිත්ත ශක්තියට පමණක් ම ගතහැකි "ජීවිතය පිළිබඳ තීරණය", සක්කරයාට මහබඹාට වත් ගත නොහැකි "ජීවිතය පිළිබඳ තීරණය" ගැනීමට ඇති සුදුසුකම් ගැන තවමත් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනයෙන් අඩක්වත් නිම කර නැති තෙවන වසරේ සිසුවෙකු හිමිකම් කියවන්නේ නම්, එතන මා ඉහතින් සඳහන් කල "ආකල්ප" පිළිබඳ බරපතල ගැටළුවක් නොවන්නේ වේද? "දොස්තර" කෙනෙකු වන්නට රෑ එළිවන තුරු ක්‍රෑම දමා, ගිරවා දමා විභාග ගොඩයාමත්, ප්‍රොෆාට මුට්ටිය අල්ලා හෝ මොනවා හෝ මගුලක් කර ෆයිනල් එග්සෑම් සහ ප්‍රැක්ටිකල් ගොඩ දැමීමත් ප්‍රමාණවත් වේ. හැබැයි එය "ජීවකයෙකු" වීමට කොහෙත්ම ප්‍රමාණවත් නොවේ. ජීවකයෙකු වන්නට මුලින්ම අනෙකාට හිමි නිසි ගෞරවය ලබා දෙන්නට උගත යුතුය. දෙවනුව මනුෂත්වය සහ එහි හැටි සොබාව හරිහැටි වටහාගත යුතුය. ජීවිත පිළිබඳ තීරක බලය ඉල්ලා බෙරිහන් දෙන මේ පුතයාට ජීවකයෙකු විය හැකිද? තීරණය ඔබට භාරය.
මේ දක්වා මා සාකච්ඡාවට බඳුන් කළේ ඉහත ලිපියේ මට එතරම්ම අදාළ නොවන හරිය ය. අදාළ වන හරියද මීට දෙවෙනි නැත. පහතින් දැක්වෙනුයේ ඒ අදාළ හරිය ය. එම ලිපියට අනුව එය එහි තුන්වන කොටසය. මම එය එලෙසින්ම පිටපත් කරමි.

3.අනෙක් සියළු පාඨමාලා වලට අදාළ නැති වෛද්‍ය විද්‍යාවට පමණක් අදාළ අමුතු නීතියක් ඇයි?
මේ උදාහරණය කිසිදු රැකියාවක් හෝ පාඨමාලාවක් පහත් කිරීමට නොවේ. යමෙක් IT ක්ෂේත්‍රයේ උපාදියක් ලබා රැකියාවක් කරනවා යයි සිතමු.ඔබට software code එකක් අමතක වුවහොත් එය google කර ඔබේ කටයුත්ත කල හැකියි.accountant කෙනෙකුට ඉගන ගත් theory කොතරම් අමතක වුවත් සතියක් එක සමාන ගිණුම් කටයුතු වල යෙදෙන විට,ඊලග වාරයේ ඔහුට එය කල හැකියි,එනම් ඔහුට field එකෙන් ඉගන ගත හැකියි.නමුත් ඔබ වෛද්‍ය වරයෙකු වී හදිසි ලෙඩෙකු පැමිණි විට ඔහුට ප්‍රතිකාර කරණ සැටි google කල නොහැකියතනිව වාට්ටුවක් බාරව සිටින විට අසා ගන්නට කෙනෙකු නැත.ඔබට field එකෙන් ඉගන ගන්නා තුරු හමුවන රෝගීන් මිය යනු ඇත.එකිනෙකට වෙනස් රෝග දහස් ගණනක් හා ප්‍රතිකාර මතක තබා ගැනීමට ඉහල මතක ශක්තියක් අවශ්‍ය බව අමුතුවෙන් කිවයුතු නොවේ. සමහරුන් සිතා සිටින්නේ වෛද්‍ය විද්‍යාලයක් යනු ලෙඩය සහ බෙහෙත කියා දෙන ආයතනයක් බවයි.වෛද්‍යවරු දන්නේ පෙනඩෝල් විටමින් පෙරිටන් වැනි බෙහෙත් කීපයක් පමණක් බවයි.ඔබ හැමදාම සෙම්ප්‍රතිෂාව හා උණට බෙහෙත් ගන්නට ගොස් විවිද බෙහෙත් අපේක්ෂා කිරීම විහිළුවක් නොවේද?

රසවත් නොවේද? මදක් සිටින්න. මෙහි වාක්‍යයක් වාක්‍යයක් ගණනේ සලකා බලමු.
  1. අනෙක් සියළු පාඨමාලා වලට අදාළ නැති වෛද්‍ය විද්‍යාවට පමණක් අදාළ අමුතු නීතියක් ඇයි? 
    • හොඳ ප්‍රශ්නයකි. එයට ඔබ දුන් පිළිතුරු වලට පිළිතුරු පහතින්...
  2. මේ උදාහරණය කිසිදු රැකියාවක් හෝ පාඨමාලාවක් පහත් කිරීමට නොවේ. 
    • මේ වාක්‍යය මා ඉහතින් සඳහන් කල "බැටළු හම"යි.
  3. යමෙක් IT ක්ෂේත්‍රයේ උපාදියක් ලබා රැකියාවක් කරනවා යයි සිතමු. ඔබට software code එකක් අමතක වුවහොත් එය google කර ඔබේ කටයුත්ත කල හැකියි.
    • පිළිතුරු වශයෙන් මට කියන්නට ඇත්තේ "රෙද්ද තමා!" කියා පමණි. මොහුට අනුව Google යනු සියල්ල දත් නොහොත් "අනන්ත ජින" ය. Software code එක Google කර මෘදුකාංග ලිවිය හැකි නම් මේ වන විට අපට රැකියාවල් නැති විය යුතුය. මෙය මොහුට පමණක් නොව "තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්" ලෙස තමුන්ව හඳුන්වා ගන්නා බොහෝ දෙනෙකුට වැරදුනු තැන ය. මෙවන් මුග්ධ චින්තනයන් නිසා ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට වැදුණු හෙණ ගෙඩිය ගැන කතා කරන්නට ගියොත් මේ ලිපිය බොහෝ දිගු වනු ඇත. ඒ ගැන අපි පසුවට සාකච්ඡා කරමු.
    • කොයි හැටි වෙතත් මේ "වෙන්ඩ දොස්තර" මහතාට මේ ටික නම් කිව යුතුය. මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ හරිහැටි නොදන්නේ නම් පහත සඳහන් මාතෘකා පිළිබඳ සබුද්ධිකව සහ සවිඥානිකව කියවන ලෙසත්, පහතින් ඇති වෙබ් අඩවි වල ඇති කරුණු පිළිබඳව විමසා බලන ලෙසත් යෝජනා කරමි.
    • මේ අවසානයට ඇති වෙබ් අඩවි තුන පිළිබඳව යමක් සඳහන් කළයුතුමය. එනම් ඒ සියල්ලක්ම, මෘදුකාංග ඉංජිනේරුවන් අතින් සිදුවූ වැරදි නිසා මිනිසුන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ අවස්ථාවන් ගණනාවක් අතුරෙන් කිහිපයක් පමණි. මේවා මෙසේ පෙළගස්වන්නට සිදුවීම ගැන මම අතිශයින්ම කණගාටු වෙමි. මන්ද යත්, මාද තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදියෙකු වන නිසාය. මා කටයුතු කරන ක්ෂේත්‍රයේ උදවියගේ වැරදි නිසා මිනිසුන් හට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවීම මට ලැජ්ජාවට කරුණකි. මේ සියල්ලක්ම සිදුවීමට මුල්ම සහ එකම හේතුව වෙන අන් කවරක්වත් නොව "තමාගේ වෘත්තීයමය වගකීම (professional responsibility) පැහැරහැරීම නිසා අත් වූ අවාසනාවන්ත ඉරණම්" වේ. සංක්ෂිප්තව කිවහොත් මෘදුකාංග සංවර්ධකයා (Software developer) තම වෘත්තීයමය වගකීම හරිහැටි වටහාගන්නා තුරු, ඒ අනුව කටයුතු නොකරන තාක් ඔහු/ඇය මෘදුකාංග ඉංජිනේරුවෙකු (Software Engineer) නොවේ. එපරිද්දෙන්ම තම වෘත්තීයමය වගකීම හරිහැටි වටහාගෙන ඒ අනුව කටයුතු නොකරන තාක්, හේ නිකන්ම නිකන් "දොස්තර" කෙනෙකු විනා නියම වෛද්‍ය නිලධාරියෙකු, නොහොත් ජීවකයෙකු නොවේ.
  4. accountant කෙනෙකුට ඉගන ගත් theory කොතරම් අමතක වුවත් සතියක් එක සමාන ගිණුම් කටයුතු වල යෙදෙන විට,ඊලග වාරයේ ඔහුට එය කල හැකියි,එනම් ඔහුට field එකෙන් ඉගන ගත හැකියි.
    • මේ ගැන කියන්නට මම ගිණුම්කරණය ගැන නොදන්නෙමි. නමුත් මම එක දෙයක් දනිමි. එනම්, වරලත් ගණකාධිකාරවරයෙකු වීමට, එසේත් නැතිනම් එම රාජකීය සන්නසට (Royal Charter) උරුමකම් කියන්නට, මේ කියන ජාතියේ ගණකාධිකාරීවරුන්ට නම් මේ කපේදී නොහැකි බවය.
  5. නමුත් ඔබ වෛද්‍ය වරයෙකු වී හදිසි ලෙඩෙකු පැමිණි විට ඔහුට ප්‍රතිකාර කරණ සැටි google කල නොහැකිය, තනිව වාට්ටුවක් බාරව සිටින විට අසා ගන්නට කෙනෙකු නැත.
    • ඔය කියන හදිසි ලෙඩුන් ගැන මා අසා ඇති පරිදී නම් මුලින්ම කෙරෙනුයේ රෝගියාගේ හදිසි තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය මූලික ප්‍රතිකාර, එසේත් නැතිනම් ප්‍රථමාධාර ලබාදීමය. මෙය සාමාන්‍යයෙන් එදිනෙදා ගෙදර දොරේදී ලබාදෙන ප්‍රථමාධාර වලින් එහා ගිය වෛද්‍ය ප්‍රථමාධාර වේ. එම ප්‍රථමාධාර වල මූලික අරමුණ වනුයේ රෝගියාගේ ජීවිතය බේරාගැනීම, තත්ත්වය තවදුරටත් භයානක වීම වැලැක්වීම සහ සුවවීම ඉක්මන් කරවීමයි. මෙහිදී බොහෝ විට සිදුවනුයේ රෝගියාගෙ සෞඛ්‍ය තත්ත්වය හා සම්බන්ධ තීරණාත්මක දර්ශක (vital indicators) ඒවායේ සාමාන්‍ය අගයන් වල පවතීද යන්න පරීක්ෂා කිරීමත්, එසේ නොවන්නේ නම් ඒවා එම සාමාන්‍ය අගයන් කරා පාලනය කිරීමත්ය. උදාහරණ වශයෙන් හෘත් ස්ඵන්දන වේගය හා රිද්මය, රුධිර පීඩනය, ශ්වසන මාර්ගය සහ ශ්වසනය යනාදිය සලකා බැලිය හැක. රෝග නිශ්චය පටන් ගනුයේ මින් අනතුරුවය. එයද, ඔය කියන සීමාවාසික වෛද්‍යවරුන් අතින් සිදුවන්නක් නොවේ. බොහෝවිට එය රෝහලේ වාට්ටු වල සිටින උපදේශක වෛද්‍ය නිලධාරීන් හෝ ලේඛකාධිකාරීවරුන් හෝ අතිනි. ඒ තැනට එන්නට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ සීමාවාසික පුහුණුව පමණක් සෑහෙන්නේ නැති බව නොකිවමනාය. මේ කියන්නේ ඉහතින් සඳහන් කල මූලික ප්‍රතිකාර වල බර හෑල්ලු කරන්නට නොවේ. එම ප්‍රතිකාර වල අරමුණ මා මුලින්ම සඳහන් කළේ එම නිසාය. නමුත් වෙදකමේ මුළු වපසරියට සාපේක්ෂව එය ඉතා කුඩා ප්‍රතිශතයක් බව අප පිළිගතයුතුමය. ඒ ටිකත් ලේසි නැත. කොහෙත්ම ලේසි නැත. මේ කියන්නේ ඒවා ලේසිය කියා නොවේ. නමුත් එම වැඩ ප්‍රමාණය ඔය දඟලන තරම් ලොකුත් නැති බවත් කිවයුතුමය.  රජයේ විශ්වවිද්‍යාල වලින් සමත්ව සීමාවාසික පුහුණුව අවසන් කරන තැන දක්වා, වෛද්‍යවරුන් දින 2190ක පුහුණුවක් ලබන්නේ ඔය කියන මූලික වැඩකොටස හරිහැටි නිවැරදිව ඉටුකරන්නටය. නැතිව පොල් ගෑමට නොවේ. දින 2190ක් යනු මේ රටේ තෘතීයික අධ්‍යාපනය නිම කිරීම සඳහා හිමිවන වැඩිම පුහුණු කාලය වන අතර, එය හිමවනුයේ වෛද්‍යවරුන්ට බවද නොරහසකි. පිරුණු කලේ දිය සැලෙන්නේ නැත. ඔය සද්දය එන කලගෙඩි වල හිස්බවට සද්දය සාක්ෂි දරයි.
  6. ඔබට field එකෙන් ඉගන ගන්නා තුරු හමුවන රෝගීන් මිය යනු ඇත.
    • විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන මුළු කාලය පුරාම මළසිරුරු කපා බලමින්, තුන්වන අධ්‍යයන වසරේ සිට වාට්ටු ගණනේම දවස ගෙවමින්, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ අසමින් බලමින්, සීමාවාසික පුහුණුව තුලදී උපදේශක වෛද්‍යවරයෙකු යටතේ ඔහුගේ/ඇයගේ අනුදැනුම මත රෝග නිශ්චය කරමින් බැනුම් අසමින් කරන්නේ ක්ෂේත්‍ර පුහුණුවක් (field training) නොවේ නම් වෙන කුමක්ද? මේ "වෙන්ඩ දොස්තර" මහතා එය කුමන නමකින් හඳුන්වන්නේ දැයි මම නොදනිමි. සාමාන්‍යයෙන් නම් එය හඳුන්වන්නේ ක්ෂේත්‍ර පුහුණුවක් ලෙසිනි. උපාධි අපේක්ෂක කාලයේ සිටම field එකේ තබා ඇත්තේ "ගොඩ ඉඳන් පීනන්නට බැරි" නිසා මිස වෙන කවරක්වත් නිසා නොවේ. කතාවේ සාරාංශය නම්, වෛද්‍ය විෂය පථයේ සංකීර්ණත්වයට සාපේක්ෂව ඉහල පුහුණුවක් වැඩි කාලයක් තුල ලබා දේ. එයට සාපේක්ෂව බලන කල තොරතුරු තාක්ෂණ විෂයෙහි සිටින අයට ලැබෙන ක්ෂේත්‍ර පුහුණුව ඉතාම අවම මට්ටමක පවතී. Senior Engineer ලාගෙන් බැනුම් අසමින්, රෑ නිදිමරාගෙන පොත පත කියවමින් දැනුම අලුත් කරගන්නට අපට සිදුව ඇත්තේ ඒ නිසාය.
    • එමෙන්ම මාගේ මතකය දිව යන තවත් කතාවක් නම් මා ඉහතින් සඳහන් කල Therac-25 සම්බන්ධ සිද්ධියයි. එම සිද්ධිය සංක්ෂිප්තව සටහන් කළහොත්, මෙම උපකරණය රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ලබාදීම සඳහා යොදා ගැනුණු උපකරණයකි. නමුත් 1985-87 කාල පරිච්ඡේදය තුලදී, මෙයින් ප්‍රතිකාර ලද රෝගීන් අවම වශයෙන් 6 දෙනෙකුවත් විකිරණශීලී පිළිස්සුම් වලට භාජනය වී තිබිණි. වාර්තා වලට අනුව එයින් තිදෙනෙකු මෙම පිළිස්සුම් තුවාල වල බරපතලකම නිසා මරණයට පත්වී තිබුණි. එම උපකරණයේ දෝෂයට හේතුව වී තිබුණේ, එම උපකරණය ධාවනය වන මෘදුකාංගයේ තිබු එක් ඉලක්කමක වරදකි. එය මාරාන්තික වීමට බලපා තිබුණේ, එම මෘදුකාංගය ලියු ඉංජිනේරුවන්ගේ මාන්නාධික අධි තක්සේරුව සහ භාවිත කල අය විසින් දැනුම් දී තිබුණු ගැටළු වලට අවධානය යොමු නොකිරීමය. මේ එක් සිද්ධියක් පමණි. තොරතුරු තාක්ෂණයේ දියුණුව සහ එහි ව්‍යාප්ත වපසරිය ගැන සලකා බලන කල වෛද්‍ය, ඉංජිනේරු, තාක්ෂණ, කාර්මික, යාන්ත්‍රික, ගගන සහ අභ්‍යවකාශ, නාවික සහ සමුද්‍රීය, කෘෂිකාර්මික යනාදී මෙකී නොකී සියලු ක්ෂේත්‍රවල කටයුතු හා ඍජුව සම්බන්ධව ඇති ක්ෂේත්‍රයකි. එම බද්ධ වීම කෙතරම්ද යත් මේ වන විටත් එම ක්ෂේත්‍ර බොහෝ විට තොරතුරු තාක්ෂණය මත යැපෙන තත්වයට පත් වී තිබේ. කිසියම් මෘදුකාංගයක් නිෂ්පාදනය කිරීමට ව්‍යාපෘතියක් ආරම්භ වූ මොහොතේ සිට එය හා සම්බන්ධ "වසම පිළිබඳ දැනුම (domain knowledge)" ලබාගැනීමට මෘදුකාංග ඉංජිනේරුවන් දරන වෙහෙස ගැන දන්නේ මෘදුකාංග ඉංජිනේරුවන්ම පමණි. අපට ඒවා ගැන පම්පෝරි ගසන්නට වෙලාවක් නැත. ලබාදෙන කර්තව්‍යය හරිහැටි නිමවා තැබීම, එය වැරදුනු පසු, ඒ වැරදීම නිසා පටි රෝල් වුණු පසු හේතු පාඨ කියමින් බෝල පාස් කිරීමට වඩා පහසු බව මෘදුකාංග ඉංජිනේරුවන් වන අපි තරයේ විශ්වාස කරමු.
  7. එකිනෙකට වෙනස් රෝග දහස් ගණනක් හා ප්‍රතිකාර මතක තබා ගැනීමට ඉහල මතක ශක්තියක් අවශ්‍ය බව අමුතුවෙන් කිවයුතු නොවේ.
    • රෝග "දහස් ගණනක්"? සහ "ඒවාට ප්‍රතිකාර"? එසේනම් සියලු පුස්තකාල වලින් සියලු දත්ත ගබඩා වලින් රෝග පිළිබඳ සියලු කරුණු ඉවත් කරන ලෙස මම යෝජනා කරමි. මන්ද, මේ කියන තරම් මතක ශක්තියක් වෛද්‍යවරුන්ට තිබේ නම් පුස්තකාල වල පොත්වලට ඉඩ, නඩත්තු වියදම් සහ වෙහෙස මහන්සිය, පරිගණක දත්ත ගබඩාවල ඉඩකඩ යනාදිය මෙතුවක් කල් අපි නිරපරාදේ නාස්ති කොට ඇත්තෙමු.
    • මා දන්නා පරිදී නම් මිනිස් මොළය කරුණු ගබඩා කර ගනුයේ කොටස් වශයෙන් මොළයේ බාහිකයේ විවිධ ස්ථාන වලය. එහි ගබඩාවට සීමාවක් ඇත. කිසිදු පුද්ගලයෙකු සඳහා එය අනන්ත වශයෙන් නොපවතී. එසේනම් මේ කියන පරිදි රෝග දහස් ගණනක් සහ ඒවාට ප්‍රතිකාර කටපාඩමින් මතක තබාගන්නේය යන කතාව පිළිගැනීමට තරමක් අපහසු බව නොකිවමනාය. විභාගයකට කටපාඩම් කිරීම වෙනම කරුණකි. නමුත් ඒ කටපාඩම් කරන දෙයින් විභාගයෙන් අනතුරුව අපගේ මතකයේ රැඳෙන්නේ එම කරුණු වල අඩංගු "මුඛ්‍ය වචන (keywords)" සහ එම සංකල්ප පිළිබඳ සවිස්තර කරුණු ඇතුලත් "මූලය (resource)" පිළිබඳ මතක මාත්‍රයක් පමණි. ඒවා මගින් අවශ්‍ය වූ විටෙක අපට අවශ්‍ය කරුණු "උපුටා ගත (extract)" හැකිය. අප පොතපත නිතර කියවන්නේ, විටින් විට ඒවා අන් අයට කියා දෙන්නේ එමගින් මතකය "අළුත්වන (refresh)" වන නිසාය. පුද්ගලයාගෙන් පුද්ගලයාට මතක ශක්තිය වෙනස් වන බව මම අවිවාදයෙන් යුතුව පිළිගනිමි. එසේම, පුද්ගලයාගෙන් පුද්ගලයාට මතක තබා ගත හැකි විෂය ක්ෂේත්‍රයන්ද වෙනස් වන බව නොකිවමනාය. හෘදය වස්තුවේ අඩංගු කපාට, කර්ණිකා, කෝෂිකා ආදී සියළුම කෑලි බෑලි ටික කටපාඩමින් කීමට හැකියාව වෛද්‍යවරයෙකුට ඇතුවා සේම, පාර අයිනේ ගරාජයක වාහන හදන බාසුන්නැහේ කෙනෙකුට, වාහනයක් වාහනයක් ගණනේ ඇති විවිධ එන්ජින් වල සියළුම කොටස් කටපාඩමෙන් කීමේ හැකියාව ඇත. එහි කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, අදාළ පුද්ගලයින් හා ඔබව මුණගැස්වීමට මා සූදානම්ය. ඔය කියා ඇති මතක ශක්තිය ගැන කතාව නොම්මර එකේ ගොන් කතාවක් වන්නේ ඒ නිසාය. 
  8. සමහරුන් සිතා සිටින්නේ වෛද්‍ය විද්‍යාලයක් යනු ලෙඩය සහ බෙහෙත කියා දෙන ආයතනයක් බවයි.
    • මේ කතාව නම් මට කිසිසේත්ම අදාළ නැත. වෘත්තීයෙන් හෙද නිලධාරිනියක් වූ මාගේ මවගේ වෘත්තීය ජීවිතය හා මම බොහෝ සමීපව සිටියෙමි. ඇයට රාත්‍රී වැඩ මුර ලැබුණු විට ඇය මා හා මාගේ සහෝදරයාව ඇය හා රැගෙන ගොස් අප දෙදෙනාව ඇය රාජකාරි කල ලේ බැංකුවේ තිබු බංකු දෙකක නිදිකරවා පසුවදා අපව පාසල් යැවුවාය. ඒ අතර ඇය තම රාජකාරියද අකුරටම ඉටුකලාය. ඇය මෙන්ම, ඇය හා කුළුපග වෛද්‍යවරුන් හා වෛද්‍යවරියන් දරණා නිමක් නැති වෙහෙස මම දැක ඇත්තෙමි. වෛද්‍ය විද්‍යාලයට තේරුණු මාගේ මිතුරන් කා ඇති කටු මම දැක ඇත්තෙමි. ඒ නිසා මේ ගැන තව දුරටත් කතා කිරීම අනවශ්‍ය බව මාගේ හැඟීමයි.
  9. වෛද්‍යවරු දන්නේ පෙනඩෝල් විටමින් පෙරිටන් වැනි බෙහෙත් කීපයක් පමණක් බවයි.
    • එහෙම වන වෛද්‍යවරුන් ඇත. ඔවුන් නිකන්ම නිකං දොස්තරලාය. ඔවුන්ට විලිලැජ්ජාවක් නැත. රටේ දුප්පතාගේ බදු මුදලින් පිනට ඉගෙන ගෙන, අනෙකුත් වෘත්තිකයන්ටද ගරහමින් උදේ හවා චැනල් සෙන්ටර් ගණනේ රිංගන්නේ එවන් නිර්ලජ්ජිත දොස්තරලාය. චැනල් කලාට කම් නැත. තමුන්ට උගන්වන්නට වියපැහැදම් කල අප්පුහාමි සීයාට, කරුණේ මාමාට, සීලවතී නැන්දාට බේත් ටික හරියට දෙන, ඒ මිනිසුන්ගේ හිත හදන දේවකාරිය හරිහැටි කළායින් අනතුරුව ඕනෑ මගුලක් කරගත්තාට කාටවත් කම් නැත. එහෙම නොවන වෛද්‍යවරුන්ද ඕනෑ තරම් ඇත. මා මේ ලිපියේ මුල සිට අග දක්වාම "ජීවකයන්" යනුවෙන් ආමන්ත්‍රණය කර ඇත්තේ තමුන් රටට දැයට ගෙවා නිම කල නොහැකි තරම් ණය බව දන්නා, පොඩි මිනිහාගේ දුක හඳුනන, තම උපාධිය අංතට්ටුවක් කර නොගෙන එයින් සමස්ත මනුෂ්‍ය වර්ගයාටම තම යුතුකම හා වගකීම මැනවින් ඉටු කරන, එබඳු මිනිසුන්ට ය. 
  10. ඔබ හැමදාම සෙම්ප්‍රතිෂාව හා උණට බෙහෙත් ගන්නට ගොස් විවිද බෙහෙත් අපේක්ෂා කිරීම විහිළුවක් නොවේද?
    • මේක නම් සහතික ඇත්තය. අපේ රටේ මෙහෙමත් මෝඩයන් සිටිනා බව මටද අනේක වාරයක් පසක් වී ඇත. ඩුබායි හි සමාජ ශාලාවක කැබරේ නළඟනක් පාර්ලිමේන්තු යැවූ රටක, මෙවන් දෑ අතිශය සාමාන්‍ය බව මාගේ අදහසයි.
පහතින් සඳහන් ඒවාද එම ලිපියෙන්ම උපුටාගන්නට යෙදුනු ඒවාය.

අනික මම දැකල තියන විශේෂඥ වෛද්‍ය වරු සියල්ලම වගේකෙනෙක් channel කරල ආවම කියන්නේ මගේ රජයේ රෝහලේ වාට්ටුවේ ඇතුල් වෙන්න කියල මිසක් එම පුද්ගලික රෝහලේ ඇතුල්වෙන්න කියල නෙමේ.එහෙම කියන අය ඇති නමුත් මම නම් දැකල නැහැ!
එතකොට බේත්?රෙපෝට් පිටින් ගන්න එකමම නම් දැකල නැහැ වෛද්‍යවරු වෙළද නාමය ලියල බේත් දෙනවා! එහෙම කලොත් ඔබට උනත් පැමිණිලි කරන්න පුළුවන්.

මෙහි රසවත්ම කොටස "මමනම් දැකල නෑ!" යන්නය. ඔහු දැක නොතිබුණාට මේවා දකින මිනිසුන් ඕනෑ තරම් ඇත. ඒවා කරලියට නොඑන්නේ ඒ සඳහා සුදුසු වේදිකාවක් අප රටේ නැති නිසාය. එසේ ආ දිනකට ඔය රජයේ විශ්වවිද්‍යාලවල උපධිධාරී වෛද්‍යවරුන් කියාගන්නා සමහරු රහසින් කෙළින බුල් සියල්ල හෙළිවනු ඇත. ඔය කියන ජාතියේ වෛද්‍යවරුන් මම දැක ඇත්තෙමි. කලින් කීවාක් මෙන් "ජීවකයන්" යයි මම ආමන්ත්‍රණය කළේ එබඳු මිනිස් වෙස් ගත් දේවතාවුන් සහ දේවතාවියන්ටය. වැරදි දුටුකල පැමිණිලි කරන්නට පුළුවන් බව අපි බොහෝ දෙනෙක් දනිමු. එමෙන්ම හොරාගේ අම්මාගෙන් පේන අසා වැඩක් නැති බවද අපි දනිමු.
ඔබ බ්‍රිතාන්‍ය පරිගණක සංගමය (British Computer Society) ගැන අසා ඇතැයි මම සිතමි. එය බ්‍රිතාන්‍යයේ පරිගණක වෘත්තීයවේදීන් සඳහා රාජකීය වරලත් සංගමය ලෙස බ්‍රිතාන්‍ය කිරීටයෙන් රාජකීය සන්නස්පත්‍රය ලබා ඇත. එහි සියළුම සාමාජිකයින් පිළිපැදිය යුතු, ආචාර ධර්ම පද්ධතිය තුල ඇති 4 වන කොටසේ (d) වගන්තිය,

act with integrity and respect in your professional relationships with all members of BCS and with members of other professions with whom you work in a professional capacity. 

ලෙස සඳහන් වේ. මින් කියවෙන්නේ තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් වන අප අපගේ වෘත්තිය සහ ඉන් පරිබාහිර සියළුම වෘත්තීන්ට අයත්, අප හා සමග වෘත්තීය මට්ටමෙන් කටයුතු කරන සාමාජිකයන් සමග අවංක භාවයෙන් සහ නිසි ගෞරවයෙන් යුතුව කටයුතු කල යුතුය. තමුන් නොදන්නා දෙයක් ගැන "අයියෝ එක Google කරන්න පුළුවන්, අයියෝ ඒක field එකෙන් ඉගෙන ගන්න පුළුවන්" යනාදී වශයෙන් කටමැත දෙඩවීම, නිසි ගෞරවය ලබාදීමක් වන්නේ කෙසේදැයි මට වැටහෙන්නේ නැත. සමහර විට එය මාගේ පුංචි මොළයට වැටහෙන්නේ නැති තරම් විශාල කාරණාවක් විය හැක. BCS ආචාර ධර්ම පද්ධතිය වෛද්‍යවරුන්ට අදාළ නැත. කතාව ඇත්තය. නමුත් එවන් ආචාර ධර්මතාවක් වෛද්‍යවරුන් සඳහා නොමැත්තේ නම්, ඔවුන්ට එවැන්නක් අත්‍යාවශ්‍ය බව ඉතා පැහැදිලිය.        
හැබැයි මාගේ මොළයට මෙන්න මේ කාරණා දෙක නම් හරි හැටි වැටහේ. එනම් "ඔබ වෘත්තීයවේදියෙකු ලෙස ඔබව හඳුන්වාගන්නේ නම්, ඔබගේ වෘත්තීයයට අදාළ වෘත්තීයමය වගකීම හා වගවීම (professional responsibility and accountability) ඔබ සතුව තිබිය යුතුය. එය නොමැති නම් ඔබගේ විෂය ක්ෂේත්‍රය කුමක් වුවත් ඔබ වෘත්තීයවේදියෙකු නොවේ!" සහ දෙවනුව "ඔබේ වෘත්තීය කුමක් වුවත් ඔබ ඔබගේ වෘත්තීයමය වගකීම පැහැරහැරියහොත් එහි ප්‍රතිඵලය අතිශය දරුණු විය හැක." සරල බසින් කිවහොත් ඕනෑම වෘත්තීන් දෙකක් ගත් කල එයින් සමාජයට වන බලපෑම එක හා සමානය. එකක් අනෙක් ඒවාට වඩා ලොකු යයි පාරම්බෑම නොම්මර එකේ ගොන් තකතීරු වැඩකි.
අවසන් වශයෙන් මම පාර්ශව දෙකක් වෙත පණිවුඩ දෙකක් නිකුත් කරනු කැමැත්තෙමි. පළමුවැන්න, මේ ලිපිය ලිවීමට වස්තුබීජය සැපයූ ඉහත ලිපියේ කතුවරයාට සහ ඒ මාදිලියේ චින්තන ධාරාවක ගමන් කරන සියලු දෙනාටය. එනම් "තමුන් නොදන්නා විෂය පථයන් ගැන ලොකුවට කතා කර ඒවායේ බර හෑල්ලු කරන්නට දරන නිර්ලජ්ජිත උත්සාහයෙන් ප්‍රකට වන්නේ ඔබ ඔබගේ විෂය පථය සඳහාද නොගැලපෙන්නෙකු බවය. තමුන් දන්නා ටික ගැන පම්පෝරි ගසා අනුන්ව පහතට දමන්නේ මෝඩයන් බව මතක තබා ගැනීම නුවණට හුරුය."
දෙවැන්න, මහපාරේ විප්ලව කරමින් යකා නටන "අන්තරේ උත්තමයන්ට"ය. රූස්ස ගසක් පෙරළන්නට වුවමනා නම් කල යුත්තේ ඒ ගස මුල හිඳ හෝ ගසට නැග හෝ බෙරිහන් දෙමින්, ගසේ කඳට අතින් පයින් පහර දෙමින් කාලය නාස්ති කිරීම නොව, ගසේ මුල පාදාගෙන එය මුලින් පෙරළා දැමීමය. මාගේ අදහස නම් පොලිසියේ රබර් උණ්ඩ හා කඳුළු ගෑස් එක්ක හැප්පී, මාධ්‍ය ඉදිරියේ පපුවට දෑතින් ගසාගෙන බෙරිහන් දී, මෝඩ ආතල් දෙනවාට වඩා, හොඳින් දැන උගෙන, කරුණු කාරණා යථා පරිදී අවබෝධ කරගෙන, තීරණ ගන්නා සහ පාලනයේ නිරත වෙන මුල් පුටුවලට තේරී පත් වී, එතැන් සිට මුල නිවැරදි කිරීම වඩා ප්‍රතිඵලදායක බවය. දැන් මුල්පුටු වල ඉන්නා එවුන් ගන්නා තීරණ වැරදි නම්, ඒ බව තමුන් දන්නේ නම්, කළයුත්තේ එය නිවැරදි කිරීම මිස "විප්ලව කිරීම" නොවේ. මේ ගැන වැඩිදුර විග්‍රහයකින් නැවත හමුවෙමු.

ප.ලි.: කෙනෙකුගේ ප්‍රකාශිත අදහස් මගින් ප්‍රකට වනුයේ ඔහුගේ/ඇයගේ ආකල්ප බව අපි සියලු දෙනාම පිළිගනිමු. එසේනම්, තෙවන වසරේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයෙකුගේ අදහස් වන ඉහතින් උපුටාගත් දෑ ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? කොමෙන්ටුවක් දැමීමට කාරුණික වන්න. මට නම් සිතෙන්නේ ඔහුගේ තෙවන වසර දක්වා දැනුම සහ කුසලතා දියුණු වී තිබුණත් (එය ටක්කෙටම කීමට තරම් සාධක සාක්ෂි නැති නිසා ඒ ගැන මම කිසිවක් ප්‍රකාශ නොකරමි) තෙවන වසරේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයෙකු වශයෙන් ඔහු තුල තිබියයුතු ආකල්පමය ගුණාත්මක බව ගැන මටනම් ඇත්තේ බරපතල ප්‍රශ්නයකි.

Wednesday, May 31, 2017

“Time”… management??

Along the course of “Time”, human being is one of the animals who has faced a drastic amount of evolution. Someone who would dive into the literature, written on human evolution, would find this “evolution of human being” to be a fascinating story that would take an entire lifetime plus a little more to finish reading that tall pile of literature. To put in a single sentence, evolution changed us in almost all the aspects. Our physique has changed, our abilities have changed (of course the word “improved” is purposely omitted here), our needs and wants have changed, i.e. some of our needs and wants got outdated and were phased out while new and of course more and more complex needs and wants started to replace those old ones and so forth. Out of all of those changed needs and wants, let us take into consideration this extremely simple yet, extremely complicated “want” in our life “time management”.

At this point prior to everything else, it is quite important to simplify the two terms “time” and management. For an unknown reason, the author opts into the second and the longer word “management”. This topic management has become a hot topic lately, in almost everywhere. Everywhere, in everything, every time we talk a lot on the topic. However for this topic, even though it is much popular, comprehending its core might not be as simple as it looks and feels. Anyways, let us give it a shot. If one questions the author like “how do you define management”, that one would definitely get an answer like “switching pieces of a system, so that at any given point in time the system would yield the optimum results”. Well, as it sounds the statement is much complicated and nothing might seem obvious. This attempt is to simplify the above statement so that it would be less irritating to the people who read this.

“System” is a term that we prominently find in “systems thinking” or in other words “holistic approach”. Here we look at and comprehend everything as “a set of co-operating entities that operates in a bounded environment and interacts with its surroundings to achieve a common set of goals”, which could also be called “a system” in a single word. This approach enables us to clearly define and understand the entities, their roles and the relationships among those entities. Pieces in the above statement refers to these entities. Fundamentally, we set goals, accordingly we plan, execute those plans, monitor the directions and control the directions accordingly to reach the goals. These could be collectively referred to as “managerial functions”. The goal of management is simply to execute those managerial functions so that it ensures the system yields the optimum result.

The immediate next question is “what are entities?” which could probably be followed by “how could one identify the entities of a system?” The fact with so called entities is that they are tangible in one way or another. For an instance one could understand a concept as an entity, which is not composed of matter. Similarly, a premises or a building also could be an entity where the thing is composed out of matter. Both, we can comprehend and imagine in our mind; hence tangible. Second question of “how-to” is a bit of a complicated aspect, which is why becoming a manager is a tough call.

The real problem arises when we start to think about managing time. If one could pause for a while and think a little deeper to figure out “what is time?” it is an obvious fact that we still do not have a sensible definition to this thing called “time”. At least us, the general public has no proper sense of time. Since we do not have such a proper sense, we are finding it much difficult to imagine. One could say that there are seconds, minutes, hours, days, weeks and so forth. But if someone ask from you “can you feel the expiry of a second?” or may be “if you do not have clocks, how would you know that a minute has passed?” your honest answer would be “no” for both the questions. If not for the sunrise and sunset, would you really feel the expiry of time? Even the sense of “interval” is there because of the sunrise and sunset. What would happen if it was not there? Would we be able to sense the expiry of time? To put it straight in leman language, by “counting time” what we are really doing is counting equal intervals of something that flies away, well beyond our control. We barely sense the expiry of time. Basically, we the human beings have no idea in or out what this time is. Yet we are desperately calculating this interesting unseen “thing” (unsure if you could call that a thing really), plan our lives based on it, makes decision over certain things and so forth. So it is obvious that what we are discussing about here is something that does have neither a beginning, nor an end, nor a boundary. Literally, time has nothing that we know of. So at least for us, the general public, our knowledge on time is almost null.

Next question would be, can we execute those managerial functions over this thing “time”? Like we already have understood, to do that we should be able to realize what entities are there in time. The fact is we do not have even a single entity in time that we can figure out. Having all these fact laying around, if one still says about time management that would simply be a meaningless, or senseless thing to fuzz about. To put it simple and straight, there is really nothing called time management. In fact, you cannot manage time.

“If not for time, then what are we managing?” is an impressive question. What the author suggests is, it is our own life that we are managing. Obviously life is in a way acting as a system. It has a lot of entities e.g. yourself, your family, your parents, your relatives, your siblings, your school, your neighbors, your country and so forth. Time to time you are interacting with these entities in order to attain the goals of “human relationships”, “duty” and “responsibility. To do that you plan things, you set priorities and you monitor what happens, accordingly you change the priorities, some you achieve and some you fail and so forth. All of the aforesaid are nothing but collectively recognized as “life” in a single word. At any given duration or a segment of time, your focus will be on one things. People say that they do multiple things together. But in reality they are not doing things together, instead they do little of each thing in small intervals and rapidly switch their focus. It is the same for all the human beings. This system named life? Indeed, you can and you are managing this. This is the toughest because your existence has a limited time frame, which almost all of you have no idea of when is your expiry date.

At the point to conclude, what the author suggests is, instead of trying so hard to manage time, learn to manage your life. How to do that, is not something that easy to tell. Because that how to is always bound to the particular person, the person’s locality, surroundings, people around, knowledge, maturity, experience and so forth. There is this one thing which is most important. That is “to manage your life right, you will have to learn to say “NO” to many things.” If you can figure out to what you should say NO to, then you have found the right way of managing your life…

Wednesday, January 4, 2017

Remake නොහොත් (රී)Make හෙවත් කොපිCAT...!

සංගීතය යනු විශ්ව භාෂාවකි. මේ විශ්වයේ කෙළවර පවතීනම් එකී ඕනෑම කෙළවර දෙකක් අතර සංගීතයෙන් ගම්‍ය වනුයේ එකම අරුතය. සුද්දාගේ බසින් Sorry කියන විට, සිංහලෙන් එයම "මට සමාවෙන්න" කියා කියන විට සිතට දැනෙන හැඟීම් දෙයාකාර වුවද , බීතෝවන් ගේ "Moonlight Sonata"ව අසන සැමටම ශෘංගාරය හා විරහව පමණක්ම දැනීම, මෙය මොනවට සනාථ කරන එක් උදාහරණයක් පමණි. මේ ලෝකයේ ඇති ඕනෑම භාෂාවකින් පිටු ගණනක් පිරෙන්නට ලියා පල කල යුතු සමහර දෑ, තත්පර කිහිපයක් පුරා දිවෙන සංගීත කෘතියකින් හදෙහි ගැඹුරුම තැන සදාකාලිකව පවතින පරිද්දෙන් නිදන් කල හැක. "ස්වර" යනුවෙන් අප විසින් හඳුන්වනු ලබන එකිනෙකට වෙනස් සංඛ්‍යාත දොළහකට කල හැකි දේ බොහෝ බව සංගීතයට කැමති ඔබත් මමත් හොඳාකාරවම දනිමු.

අපි සියලු දෙනාම සංගීතය රසවින්දනය කරන්නෝ වෙමු. නිවසෙහි සිටින බොහෝ අවස්ථාවල, බසයෙහි දුම්රියෙහි ගමන් ගන්නා අතරතුර පමණක් නොව පොත් පත්තර කියවන විට පවා සියුම් සංගීත නාදයකට කන්දෙමින් ඒවා කරන්නට තරම් අපි බොහෝ දෙනෙක් සංගීතයට ඇබ්බැහි වී සිටිමු. බෞද්ධාගමානුකූලව මෙය කෙතරම් දුරට යහපත් දැයි කියන්නට මම නොදනිමි. නමුත් එය සිදුවන්නේ එසේය. මෙම පම්පෝරිය මෙසේ කොටමින් සිටින මා පවා සවස පහේ කණිසමට රාජකාරි කටයුතු නිමවා නිවෙස බලා පැමිණෙන ගමන පුරා වැඩිවශයෙන් කරනුයේ බසයේ මුල්ලක් අල්ලාගෙන, හිස් පද්ධතියෙහි (ඒ කීවෙ හෙඩ් සෙට් එක) ඇති ඇබ දෙක කන් දෙකෙහි ගසාගෙන සින්දු ඇසීමය. ලංකාවේ පුද්ගලික බස් සේවයට පින් සිදුවන්නට, සාමාන්‍යයෙන් ඒ සඳහා ගතවන පැයක කාලය තුල ගීත පහළොවත් විස්සත් අතර ප්‍රමාණයක් ශ්‍රවණය කිරීමට මට අවස්ථාව සැලසේ.

ඔයින් මෙයින් නැවතත් කතාවට අවතීර්ණ වෙමින්, "සංගීතය" ගැන ඔබ දන්නේ මොනවාද? යන පැනය මා ඔබෙන් ඇසුවහොත්, ඔබ මට දෙන පිළිතුර කෙබඳු වේවිද? බොහෝවිට "නෝට්ස් දොළහක් තියෙනවා, බේස් නෝට්ස්/කෝඩ්ස් බර ගානක් තියෙනවා, බීට්ස් ගොඩක් තියෙනවා, හැම බීට් එකක්ම ඒක ඒක ටෙම්පෝ වලින් ප්ලේ කරන්න පුළුවන්, ඕනෙම සෝන්ග් එකක් ස්කේල් දොළහකින් ප්ලේ කරන්න පුළුවන්" යනාදී නානාප්‍රකාර පිළිතුරු රැසක් මට ලැබෙනු නොඅනුමානය. ඔය කතාවල් සියල්ලම සහතික ඇත්ත වේ. සංගීතය තරම් එය පාවිච්චි කරන නිර්මාපකයාට අමුද්‍රව්‍ය හිමිවන වෙන කිසිදු ක්ෂේත්‍රයක් නැති තරම්ය. සංගීතයෙහි පදනම වනුයේ නාදයයි. නාදයෙහි ප්‍රධාන වශයෙන් ගුණ තුනක් පවතී. ඒවා නමින්,
  • තාරතාවය නොහොත් සංඛ්‍යාත අතර වෙනස
  • විපුලතාවය නොහොත් හඬේ සැර
  • ධ්වනි ගුණය හෙවත් නාදයේ අනන්‍යතාව
යනුවෙන් වේ. මේ සියලුම දේවල් පිළිබඳව තරමක සැළකිල්ලෙන් සිතා බැලුවහොත්, මෙම සියලු ආකාරයේ වෙනස්කම් විවිධ අයුරින් පෙලගසමින් සකස් කල හැකි පිළියෙළ කිරීම් ගණන නොහොත් "permutations" ගණන අනන්ත සංඛ්‍යාවක් බව මොනවට පැහැදිලි වේ. විපුලතාව හෙවත් volume යන්න අදාල නොවන හෙයින් නොසලකා හැරියත්, සියලුම සංගීත පද්ධතීන්ගේ ප්‍රධාන වශයෙන් ස්වර දොළහක් ඇත. එම ස්වරයන් විවිධ තාරතාවන්ගෙන් පැවැත්විය හැක. උත්තර භාරතීය සංගීතය ගතහොත් "මන්ද්‍ර", "මධ්‍ය" හා "උච්ච" යනුවෙන්ද, බටහිර සංගීත පද්ධතියෙහි "Sorprano", "Mezzosorprano", "Contralto" යනුවෙන් උච්ච තාරතාවන් තුනක්ද, "Counter Tenor", "Tenor", "Baritone", "Bass" යනුවෙන් මධ්‍ය හා මන්ද්‍ර තාරතාවන් හතරක්ද සමග මීට අමතරව තව බොහෝ තාරතා මට්ටම් ගණනක්ද ඇත. මීට අමතරව විවිධ වූ සංගීත භාණ්ඩ රාශියක්ද ඇත. ඔබ වැරදීමකින් හෝ යානි (Yanni) ගේ සංගීත ප්‍රසංගයක් නරඹා ඇත්නම්, නාදය ඉපදවිය හැකි පිළිගැනීමට පවා අසීරු ක්‍රම කොපමණ ඇත්තේදැයි දළ අදහසක් හෝ ඇතුවාට සැකයක් නැත. නදීක ගුරුගේ වරක් පැවසූ පරිදී, "වර්ෂාව ඇදහැලෙන විට නැගෙන වැහිබිඳු වල නාදය" පවා සංගීතය ලෙස යොදාගත හැක.

සාමාන්‍ය වශයෙන් ගත් කල, ඔබට කිසියම් කාර්යයක් කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලබා දී ඇත්තේ නම් ඔබට කළ හැක්කේ මොනවාද? ඒවා කළ හැකි සීමාව කුමක්ද? යන දෑ තීරණය කෙරෙනු ලබන්නේ ඔබගේ නිර්මාණශීලීත්වය සහ ඔබගේ පරිකල්පන ශක්තිය යන ද්විත්වය පමණක්ම වේ. මෙතැන් සිට මෙය කියවන ඔබ මතක තබාගත යුතු එක් දෙයක් සිහි කැඳවීමට කැමැත්තෙමි. එනම්, මෙය වනාහී ඔබේ රසඥතාව අභියෝගයට ලක් කිරීමක් හෝ, මාගේ රසඥතාව ප්‍රවර්ධනය කිරීමක් නොවන බවය. හුදෙක්ම මෙහි අරමුණ, ශ්‍රී ලාංකේය සංගීතයෙහි, ඔබ නොදන්නා හෝ ඔබ මෙතුවක් නොදුටු කිසියම් කරුණක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරවීමක් පමණි.අප මේ කථා කරන්නට යනුයේ ලාංකේය නව පරපුරේ සළකුණ වන රීමේක් (remake) කිරීම පිළිබඳවය.

ඔය රීමේක් ගැන මට ඇති ප්‍රශ්න කිහිපයක් වේ. ඒවානම්,
  1. රීමේක් යනු කුමක්ද?
  2. රීමේක් කිරීමේ අරමුණ කුමක්ද?
  3. රීමේක් කිරීමේ සැබෑම අවශ්‍යතාවක් තිබේද?
පළවෙනි ප්‍රශ්නය නම් මා අසනුයේ කුපාඩි කමට නොව හැබැහින්ම ඔය රීමේක් කියන කඩ්ඩ වචනයේ තේරුම නොදන්නා නිසාය. එම පැනයට පිළිතුර මම ගූගල් දේවේන්ද්‍රයාගෙන් විමසූ කල, උන්වහන්සේ මා මෙම සබැඳිය වෙත රීඩිරෙක්ට් කරන්නට යෙදුනි. මෙම සබැඳිය එම වචනය සඳහා වන අරුත් නිරූපණයකටත් වඩා, ඔවැනිම ජනප්‍රිය වචනයක් වන කවර් (cover) යන්න සමග සංසන්දනය කිරීමට උත්සාහ දැරීමකි.

මෙම සබැඳිය හා අදාල වෙබ් අඩවිය ගැනත් කෙටියෙන් සඳහනක් කිරීම උචිත යැයි මම සිතමි. Stack Exchange වෙබ් අඩවි ගොන්නෙහි තවත් එකක් වන මෙම Music Fans Beta අඩවියද, Stack Exchange ක්‍රමයටම ක්‍රියාත්මක වන එකකි. ඔබට ප්‍රශ්න ඇසිය හැක. එම ප්‍රශ්න ඇසීමේදී ඔබ පිළිපැදිය යුතු කරුණු කිහිපයක් තිබේ. එම ප්‍රශ්නයට පිළිතුර දන්නා අයෙකු වේ නම් ඔහුට ඒ සඳහා පිළිතුරු දිය හැක. ප්‍රශ්නය හා පිළිතුරු යන සියල්ලෙහිම තත්ත්වය, නිවැරදිබව, යථාර්ථවාදී බව වැනි සාධක අනුව අනෙකුත් සාමාජිකයන්ට ඒවා වෙනුවෙන් ඡන්දය ලබාදීමට සහ ඒවා වාර්තා කිරීමට හැකියාව තිබේ.

නැවතත් මේ පිළිබඳව අසා ඇති ප්‍රශ්නය සම්බන්ධ සංඛ්‍යාලේඛන ගැන සළකා බැලුවහොත්, මින් වසරකට පෙර විමසා ඇති මෙම ප්‍රශ්නය මෙම ලිපිය කොටන මොහොත වන විට  7877 වතාවක් කියවා ඇති අතර, ප්‍රශ්නය වෙනුවෙන් මනාප 22ක්ද, වැඩිම මනාප හිමි  පිළිතුරට මනාප 15ක්ද ලැබී තිබිණි. සරලව කියන්නේ නම්, මෙම ප්‍රශ්නය සහ පිළිතුර මෙම ප්‍රජාව අතර සැලකිය යුතු අවධානයක් දිනාගෙන තිබෙන අතර, එහි ඇති මතවාදයන් ද බහුතර වශයෙන් පිළිගැනීමට ලක්ව තිබේ.

එහි ඇති සංසන්දනයට අනුව සාමාන්‍ය වශයෙන් ගත් කල, කවර් එකක් යනු කිසියම් ගීතයක් වෙනස් අයුරකින් අර්ථ නිරූපණය කිරීමක් (reinterpretation) වන අතර රීමේක් එකක් යනු ගීතයක් නැවත මුල සිට නිෂ්පාදනය කිරීමකි (reproduction). තවත් කෙනෙකුට අනුව රීමේක් යන්නට, සංගීත සන්දර්භය තුළ හරි හමන් නිර්වචනයක් සොයාගැනීම අපහසුය. මේ කියන "මුල සිට නැවත නිෂ්පාදනය" යනු කුමක්දැයි තවදුරටත් විමසා බැලීම වටී. සංගීත කෘතියක් නිෂ්පාදනය කිරීම යන ක්‍රියාවලියට අදාල කාර්යයන් බොහෝ වේ. පද රචනය, තනු නිර්මාණය, සංගීත සංයෝජනය, ශබ්ද පරිපාලනය, පටිගත කිරීම, වර්තමානයේ නම් පටිගත කල එක මෘදුකාංගයක පිහිටෙන් තවත් ඔප මට්ටම් කිරීම (අලුතෙන් සින්දු කියන අපේ වැඩි හරියක් බූරුවන්ට ස්ටේජ් එකක ලයිව් සිංග් කරන්න බැරි reason එක) යනාදී සියල්ලම අදාල වනුයේ ඔය කියන නිෂ්පාදන කර්තව්‍යයට ය. "remake යනු reproduction ය" යන පදනමේ සිට ගත් කල, ඔය රීමේක් කරන ඇත්තන් කරනුයේ, මා ඉහතින් සඳහන් කල අනුපිළිවෙල, කිසියම් ගීතයක් සඳහා ආපසු කිරීමකි (අඩුම වශයෙන් නාමිකව හෝ එසේ විය යුතු වේ).

අංක 2 ගත් කළ, මට පෙනෙන හැටියට නම්, මේ වන විට කර ඇති සියලුම සිංහල රීමේක් වල අරමුණු හුදෙක් මූල්‍යමය සහ භෞතික ඒවා විනා අන් කවරක්වත් නොවේ. ඒ හැර, ඒ එකකින් වත් සංගීතයෙහි මූලික අභිමතාර්ථයක් වන "ශ්‍රාවක රසවින්දනය" වෙනුවෙන් සිදුවන යමක් නැත. එව වෙනුවට, "ශ්‍රාවක රසවින්දනය" යන්න බලු බල්ලාට යන්නට ඉඩහැර එවැන්නක් ගැන විමසූ විට "ඒ මොකක්ද?" අසන තැනට වැටී තිබේ. මේ මට හිතෙන හැටිය. වරදක් තිබේද? කොමෙන්ටුවක් කෙටීමේ නිදහස ඔබට ඇත.

මෙහි ඇති වඩාත්ම රසබර කොටස අංක 3 ය. කල්පනා කර බැලූ විට, මුලින් නිෂ්පාදනය කළ සංගීත කෘතියක් නැවත නිෂ්පාදනය කිරීමට හේතුවක් තිබිය යුතුය. සාමාන්‍යයෙන් අප යමක් නැවත කරනුයේ එක්කෝ එය වැරදුනු විටය. එසේත් නැතිනම් එම ප්‍රතිදානය පිළිබඳව අපට සෑහීමකට පත් විය නොහැකි වූ විටය. එසේ කරනුයේ එම කෘතියේ කතුවරයා මිස, එසේ කිරීමට නෛතිකව හා සදාචාරාත්මකව හිමිකම් ඇත්තේ එම කෘතියේ කතුවරයාට මිස, එම කෘතියට මොනම අන්දමකින් වත් අදාල නැති, එම කෘතිය පිළිබඳ හරහක් දිගක් නොදන්නා නන්නත්තාරේ යන වට පඩයෙකු නොවේ. ඔබේ දරුවෙකුගේ අඩුපාඩු ඇතැයි කියා එම දරුවා රීමේක් කරන්නට යැයි කියා පිට එකෙකු අප්පා වීමට පැමිණියහොත් තත්ත්වය කවරාකාර වේවිද? (මෙහි රීමේක් යන වචනයේ අර්ථය මම විවෘතව තැබීමට තීරණය කළෙමි. එය ඔබට අභිමත පරිදී වටහා ගැනීමේ, අභිමත යමක් ආදේශ කිරීමේ නිදහස තිබේ.) මෙම උදාහරණය මේ අයුරින් යොදන්නට හේතුව මගේ වනචර කට සහ හිත නොවේ. මුදල පසුපස පමණක්ම හඹා යමින් පරිගණක මෘදුකාංගයක ආධාරයෙන් මොනවා හෝ කුණුහරුප වැලකට අනුව සරිගම කන එවුන්ටත්, අනුන්ගේ සින්දු ප්‍රසංග වේදිකා ගානේ කියමින් සල්ලි ගරන කැණහිලුන්ටත් නැතුවාට, තම දහදිය මහන්සියෙන්, තම වේලාව කැප කර, තම පරිකල්පන ශක්තිය මෙහෙයවා සුවහසක් ශ්‍රාවක ජනී ජනයාගේ සිත් සතන් නානාවිධ හැඟුම් වලින් කළඹාලිය හැකි නිර්මාණයක් බිහිකරන්නට දුක් කම්කටොළු විඳි නිර්මාණ කරුවෙකුට සිය නිර්මාණය තම ලෙයින් උපන් දරුවෙකු හා සමාන බව නොකිවමනා ය. එවන්, ශ්‍රාවක සිත් සතන් නානාවිධ හැඟුමින් පුරවාලන කෘතීන් සුජාත දරුවන් වැනියැයි කීවාට වරදක් නැත. මෙහි "සුජාත" යන වචනය "සුභාවිත" යන වචනය හා පටලා නොගත යුතු බව අවධාරණයෙන් කිව යුතුමය. ඔය "සුභාවිත ගීතය" හා ඒ යට සැඟවුණු "කුහක කම" පිළිබඳව වෙනත් ලිපියකින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

අනෙක් අතට, "යමක් නැවත කරන්නට නම් එක්කෝ එය වැරදී තිබිය යුතුය. එසේත් නැතිනම් එහි අඩුපාඩු තිබිය යුතුය" යන කාරණය, කලා කෘතියක් විෂයෙහි ලා ගත් කල සත්‍යයක් නොවේ. එනම්, කිසියම් කලා කෘතියක් ගත් කල, එය කිසියම් සංස්කෘතියක් හා යම් යම් නොගැලපීම් තිබිය හැකි වුවත්, එහි අඩුපාඩු හෝ වැරදි තිබේ යැයි කිසිවෙකුට කිව නොහැක. සරල උදාහරණයක් ගනිමු. 2 + 2 යන්නෙහි පිළිතුර 5 යැයි කෙනෙකු කිවහොත් එහි වරදක් තිබේ. මන්ද, එම පිළිතුර ගණිතයේ සිද්ධාන්ත වලට පටහැනි නිසාය. "අපි පන්සල් ගියේය." යන වාක්‍යය තුල වරදක් තිබේ. මන්ද එහි වියරණ භාවිතය, සිංහල භාෂාවේ වියරණ නීති උල්ලංඝනය කර තිබේ. "අපි ගියෙමු." යන වාක්‍යයෙහි අඩුපාඩුවක් තිබේ. මන්ද, ගියේ කොහේද යන්න එයින් ගම්‍ය මාන නොවේ. ඔන්න ඔවැනි "නිරපේක්ෂ" දෑ අපට නිවැරදි කළ හැක. ඒවායෙහි පවතින අඩුපාඩු සකස් කළ හැක. ඔවැනි ඒවා "රීමේක්" කලාට කම් නැත. ඒවා "රීමේක්" කළ යුතුව තිබේ. නමුත් සංගීත කෘතියක් තුළ එවැනි නිරපේක්ෂතාවක් නැත. මන්ද එය කිසියම් මූලද්‍රව්‍ය කිහිපයක් නිර්මාණ කරුවාගේ පරිකල්පන ශක්තිය හා සංයුක්ත වීමෙන් සැදුනු අනන්‍ය ප්‍රතිදානයකි. එයටම ආවේණික අනන්‍යතාවක් එම කෘතිය සතු වේ. එම අනන්‍යතාව හොඳද නරකද යන්න කිසිදු අයෙකුට නිරපේක්ෂ ලෙස සම්මතකරණය කළ නොහැක. කෙනෙකුට හොඳ නිර්මාණයක් තවත් කෙනෙකුට හොඳ නොවිය හැක. "මේක මට හොඳ නෑ. ඒක නිසා මම මේක රීමේක් කරනවා" කියා එය වෙනස් කරන්නට යාමෙන් සිදුවනුයේ, එම කලා කෘතියට හිමි අනන්‍යතාව කඩ වීමත්, ඒ හරහා එම කලා කෘතිය "රේප්" වීමත් පමණි. ඔය රීමේක් කරන ඇත්තන්ගෙන් මට අසන්නට ඇත්තේ, "අනුන්ගෙ ළමයින්ට අලුතෙන් උප්පැන්න දෙන්න යනවාට වඩා තමන්ගේ එකෙක් වදා හදා ගත්තා නම් නරකද?" කියාය.

මට පෙනෙන දෑ අනුව, මෙතැන ඇති හොඳම සෙල්ලම ඔය එකක්වත් නොවේ. අද වන විට රීමේක් කරන්නට යෙදුනු ගීත ගණනාවක්, ඒවායෙහි මුල් කෘතිය හා සසඳා බලන කල මා දුටු ඉතාම "ෆන්" සහගත කාරණා කිහිපයක් වේ. ඒවා නම්,
  • බොහෝ දුරට මුල් කෘතියේ තනුව හා සමානය. ඉතාම කලාතුරකින් එහෙමත් තැනක දෙකක අලංකාරයන් (එහෙම කියන්න පුළුවන්ද මන්දා) යොදා ඇත.
  • පද රචනයෙහි කිසිදු වෙනසක් නැත. ඉඳ හිට "රැපක්" ඔබා ඇත. එයින් සිද්ධ වන දේ කුමක්දැයි ඔබ හොඳාකාරවම දනී.
  • සංගීත සංයෝජනය කරනුයේ පරිගණක මෘදුකාංගයක් මගිනි. එම නිසා ඒවායෙහි ඇති එකම නාදයක් වත් සැබෑ සංගීත භාණ්ඩ (Acoustic) ඒවා තරම් මිහිරි නැත.
  • ගායකයාට විලි ලැජ්ජාව කියා නාමයක් නැත. ඒ ගායනයට, මුල් ගායනය හා අලගු තැබීමට වත් නොහැක. හඬ පෞරුෂයක් ගෑවිලාවත් නැත. කරන එකම දේ ගැහැණු පිරිමි අතරමැදි හඬකින් "ඤුරු ඤුරු" ගෑම පමණි.
  • අර "ඤුරු ඤුරු"ව පරිගණක මෘදුකාංග මගින් බොහෝ සේ කපා කොටා ඔප මට්ටම් කර හැඩ වැඩ දමා ඇත. (මේක් අප් දමා ගැහැණුන්ගේ මුහුණු වල වල ගොඩැලි පුවරන්නාක් මෙන්)
මෙම කරුණු ගැන සිතා බැලූ කල, සිහියෙන් ජීවත් වන්නෙකු "මේ ටික කළාම රීමේක් වෙනවද?" කියා ඇසුවහොත් එහි පුදුම වන්නට කිසිදු කාරණාවක් නැත. හිතට එකඟව, සංගීතය පිළිබඳව සවිඥානිකව ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ "මලට බඹරෙකු සේ", නාමල් උඩුගමගේ "රෑ සිහිනෙන්", ප්‍රියා සූරියසේනගේ "ඈත රන් විමන්" වැනි ගීත හා ඒවායේ රීමේක් සංස්කරණ වලට සවන්දී බලන ලෙස මම ඔබට යෝජනා කරමි. එවිට මා ඉහතින් ලැයිස්තු ගත කළ කාරණා ඔබට පසක් වනු ඇත. අරමුණ කුමක් වුවත්, කරුණු කාරණා සිද්ධ වනුයේ උක්තයෙහි සඳහන් අන්දමින් නිසා, බොහෝ රීමේක් වල අවසන් ප්‍රතිඵලය, ජාගර අවර ගණයේ එකක් වී තිබේ.

ඉතාම අතලොස්සක් රීමේක්, එම ගීතවල මුල් කෘතීන්ට වඩා සාර්ථක වූ බවත්, ජනප්‍රිය වූ බවත් මම පිළිගනිමි. ඉතාම සුළු ප්‍රතිශතයක් රීමේක්, මුල් කෘතීන්ට වඩා සාර්ථක බව මටද සමහර විට වැටහී තිබේ. සමහරක් මුල් ගීත එතරම් ම ජනප්‍රිය නොවූ නමුත් ඒවායෙහි රීමේක් සාපේක්ෂව වැඩි ජනප්‍රියතාවක් ලබා ඇත. නමුත් ඒ එකකින් වත් "මේක අනුන්ගෙ වැඩක් තමුන්ගෙ නමින් ආපහු කරන එකක්" යන කාරණය වෙනස් නොවේ. තමුන්ට පුළුවන් නම්, අනුන්ගේ රෙද්දවල් අස්සේ රිංගන්නට නොයා, තම හැකියාව ප්‍රචලිත වන යමක් ප්‍රතිදානය කළ යුතුය. කෙනෙක් "වැඩ්ඩෙක්" වන්නෙ එවිටය. ජෝති හොඳ වැඩ්ඩෙකි. හැබැයි අනුන්ගේ (වැඩි හරිය මොහොමඩ් රාෆිගේ) තනුවලට සිංහල වචන දමා ගායනා කිරීම පිළිබඳව කුප්‍රකටය. "ඔබ නිදන්න ඔබ නිදන්න" ගීතය "පට්ට" ගීතයක් වන්නේත්, "සමන් මල් පියල්ලෙ" ගීතය "මෙලෝ රහක් නැති" එකක් වන්නේත් එබැවිනි. මෙම සබැඳියට අනුව, පනහේ දශකයේ මුල සිට මේ දක්වා ගීත 101කට වැඩි ප්‍රමාණයක් අපි විසින් කොපි කැට් කර ඇත්තෙමු. ලාංකේය රීමේක් කලාවට එතරම් ම දිගු ඉතිහාසයක් ඇත. අපේ විලි ලැජ්ජා නැති කම ඒ තරම් පරණය; ඒ තරම් ලොකුය. එම ගොන්නෙන් ගීත 32ක් ඉදිරියෙන් ජෝතිගේ නමද ලියැවී ඇත. 

අවසන් වශයෙන් ගත් කල, මා දකින, මට හැඟෙන දැනෙන හැටියට නම්, රීමේක් යනු තම තමන්ගේ බැරිකම වසාගන්නට, අනුන්ගේ දරුවන් ගැන පීතෘත්වය ප්‍රකාශ කිරීමකි. ඒ හරහා ප්‍රසිද්ධියක් ජනප්‍රියත්වයක් ලබා ගැනීමට කරන තුට්ටු දෙකේ වැඩකි. විලි ලැජ්ජා නැතිකම මෙරටේ පමණක් නොව මුළු ලෝකය පුරාම ප්‍රසිද්ධ කිරීමකි. මා මේ වචන මෙසේ පෙලගස්වනුයේ වදින තැන් වලට වදින්නත්, රිදෙන තැන් වලට රිදෙන්නත් ය. එසේ රිදෙන එවුන් "තමුසෙට හරියට සින්දුවක් විසිල් කරගන්නවත් පුළුවන්ද", "මේව කියන්නෙ තමුසෙ මියුසික් ගැන මොනවා දැනගෙනද?", "කවුරු හරි එකෙක් ගොඩ යනවට තමුසෙ කැමති නැද්ද?", "රීමේක් කරන එක ගැන තමුසෙට තියන අහවල් එකේ අමාරුව මොකක්ද?" යැයි කියා මගෙන් අසනු ඇත. එවුන් හට පිළිතුරු දෙන්නට මගේ බලාපොරොත්තුවක් නැත. එකම කරුණ නම්, තම හැකියාව හා පරිකල්පන ශක්තිය මෙහෙයවා, ලාංකේය සංගීත කලාවේ දිශානතිය, නවමු මංපෙත් ඔස්සේ හසුරුවන්නට වෙර දරනවා, කටයුතු කරනවා වෙනුවට එක එකාගේ ළමයින්ට අලුතෙන් උප්පැන්න ලියන්නට යාම නීති හා සදාචාර විරෝධී පමණක් නොව, ලාංකේය සංගීත කලාවේ අනාගතයට එතරම් සුභදායක නොවන බවය.

මෙම කාරණා සියල්ල එලඹ සිටි සිහියෙන් නුවණින් යුතුව සිතා විමසා බලා, තුන් වැනි ප්‍රශ්නයට ඔබේ පිළිතුර කොමෙන්ටුවක සටහන් කර තබන ලෙස ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි...