සංගීතය යනු විශ්ව භාෂාවකි. මේ විශ්වයේ කෙළවර පවතීනම් එකී ඕනෑම කෙළවර දෙකක් අතර සංගීතයෙන් ගම්‍ය වනුයේ එකම අරුතය. සුද්දාගේ බසින් Sorry කියන විට, සිංහලෙන් එයම "මට සමාවෙන්න" කියා කියන විට සිතට දැනෙන හැඟීම් දෙයාකාර වුවද , බීතෝවන් ගේ "Moonlight Sonata"ව අසන සැමටම ශෘංගාරය හා විරහව පමණක්ම දැනීම, මෙය මොනවට සනාථ කරන එක් උදාහරණයක් පමණි. මේ ලෝකයේ ඇති ඕනෑම භාෂාවකින් පිටු ගණනක් පිරෙන්නට ලියා පල කල යුතු සමහර දෑ, තත්පර කිහිපයක් පුරා දිවෙන සංගීත කෘතියකින් හදෙහි ගැඹුරුම තැන සදාකාලිකව පවතින පරිද්දෙන් නිදන් කල හැක. "ස්වර" යනුවෙන් අප විසින් හඳුන්වනු ලබන එකිනෙකට වෙනස් සංඛ්‍යාත දොළහකට කල හැකි දේ බොහෝ බව සංගීතයට කැමති ඔබත් මමත් හොඳාකාරවම දනිමු.
අපි සියලු දෙනාම සංගීතය රසවින්දනය කරන්නෝ වෙමු. නිවසෙහි සිටින බොහෝ අවස්ථාවල, බසයෙහි දුම්රියෙහි ගමන් ගන්නා අතරතුර පමණක් නොව පොත් පත්තර කියවන විට පවා සියුම් සංගීත නාදයකට කන්දෙමින් ඒවා කරන්නට තරම් අපි බොහෝ දෙනෙක් සංගීතයට ඇබ්බැහි වී සිටිමු. බෞද්ධාගමානුකූලව මෙය කෙතරම් දුරට යහපත් දැයි කියන්නට මම නොදනිමි. නමුත් එය සිදුවන්නේ එසේය. මෙම පම්පෝරිය මෙසේ කොටමින් සිටින මා පවා සවස පහේ කණිසමට රාජකාරි කටයුතු නිමවා නිවෙස බලා පැමිණෙන ගමන පුරා වැඩිවශයෙන් කරනුයේ බසයේ මුල්ලක් අල්ලාගෙන, හිස් පද්ධතියෙහි (ඒ කීවෙ හෙඩ් සෙට් එක) ඇති ඇබ දෙක කන් දෙකෙහි ගසාගෙන සින්දු ඇසීමය. ලංකාවේ පුද්ගලික බස් සේවයට පින් සිදුවන්නට, සාමාන්‍යයෙන් ඒ සඳහා ගතවන පැයක කාලය තුල ගීත පහළොවත් විස්සත් අතර ප්‍රමාණයක් ශ්‍රවණය කිරීමට මට අවස්ථාව සැලසේ.
ඔයින් මෙයින් නැවතත් කතාවට අවතීර්ණ වෙමින්, "සංගීතය" ගැන ඔබ දන්නේ මොනවාද? යන පැනය මා ඔබෙන් ඇසුවහොත්, ඔබ මට දෙන පිළිතුර කෙබඳු වේවිද? බොහෝවිට "නෝට්ස් දොළහක් තියෙනවා, බේස් නෝට්ස්/කෝඩ්ස් බර ගානක් තියෙනවා, බීට්ස් ගොඩක් තියෙනවා, හැම බීට් එකක්ම ඒක ඒක ටෙම්පෝ වලින් ප්ලේ කරන්න පුළුවන්, ඕනෙම සෝන්ග් එකක් ස්කේල් දොළහකින් ප්ලේ කරන්න පුළුවන්" යනාදී නානාප්‍රකාර පිළිතුරු රැසක් මට ලැබෙනු නොඅනුමානය. ඔය කතාවල් සියල්ලම සහතික ඇත්ත වේ. සංගීතය තරම් එය පාවිච්චි කරන නිර්මාපකයාට අමුද්‍රව්‍ය හිමිවන වෙන කිසිදු ක්ෂේත්‍රයක් නැති තරම්ය. සංගීතයෙහි පදනම වනුයේ නාදයයි. නාදයෙහි ප්‍රධාන වශයෙන් ගුණ තුනක් පවතී. ඒවා නමින්,
- තාරතාවය නොහොත් සංඛ්‍යාත අතර වෙනස
- විපුලතාවය නොහොත් හඬේ සැර
- ධ්වනි ගුණය හෙවත් නාදයේ අනන්‍යතාව
යනුවෙන් වේ. මේ සියලුම දේවල් පිළිබඳව තරමක සැළකිල්ලෙන් සිතා බැලුවහොත්, මෙම සියලු ආකාරයේ වෙනස්කම් විවිධ අයුරින් පෙලගසමින් සකස් කල හැකි පිළියෙළ කිරීම් ගණන නොහොත් "permutations" ගණන අනන්ත සංඛ්‍යාවක් බව මොනවට පැහැදිලි වේ. විපුලතාව හෙවත් volume යන්න අදාල නොවන හෙයින් නොසලකා හැරියත්, සියලුම සංගීත පද්ධතීන්ගේ ප්‍රධාන වශයෙන් ස්වර දොළහක් ඇත. එම ස්වරයන් විවිධ තාරතාවන්ගෙන් පැවැත්විය හැක. උත්තර භාරතීය සංගීතය ගතහොත් "මන්ද්‍ර", "මධ්‍ය" හා "උච්ච" යනුවෙන්ද, බටහිර සංගීත පද්ධතියෙහි "Sorprano", "Mezzosorprano", "Contralto" යනුවෙන් උච්ච තාරතාවන් තුනක්ද, "Counter Tenor", "Tenor", "Baritone", "Bass" යනුවෙන් මධ්‍ය හා මන්ද්‍ර තාරතාවන් හතරක්ද සමග මීට අමතරව තව බොහෝ තාරතා මට්ටම් ගණනක්ද ඇත. මීට අමතරව විවිධ වූ සංගීත භාණ්ඩ රාශියක්ද ඇත. ඔබ වැරදීමකින් හෝ යානි (Yanni) ගේ සංගීත ප්‍රසංගයක් නරඹා ඇත්නම්, නාදය ඉපදවිය හැකි පිළිගැනීමට පවා අසීරු ක්‍රම කොපමණ ඇත්තේදැයි දළ අදහසක් හෝ ඇතුවාට සැකයක් නැත. නදීක ගුරුගේ වරක් පැවසූ පරිදී, "වර්ෂාව ඇදහැලෙන විට නැගෙන වැහිබිඳු වල නාදය" පවා සංගීතය ලෙස යොදාගත හැක.
සාමාන්‍ය වශයෙන් ගත් කල, ඔබට කිසියම් කාර්යයක් කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලබා දී ඇත්තේ නම් ඔබට කළ හැක්කේ මොනවාද? ඒවා කළ හැකි සීමාව කුමක්ද? යන දෑ තීරණය කෙරෙනු ලබන්නේ ඔබගේ නිර්මාණශීලීත්වය සහ ඔබගේ පරිකල්පන ශක්තිය යන ද්විත්වය පමණක්ම වේ. මෙතැන් සිට මෙය කියවන ඔබ මතක තබාගත යුතු එක් දෙයක් සිහි කැඳවීමට කැමැත්තෙමි. එනම්, මෙය වනාහී ඔබේ රසඥතාව අභියෝගයට ලක් කිරීමක් හෝ, මාගේ රසඥතාව ප්‍රවර්ධනය කිරීමක් නොවන බවය. හුදෙක්ම මෙහි අරමුණ, ශ්‍රී ලාංකේය සංගීතයෙහි, ඔබ නොදන්නා හෝ ඔබ මෙතුවක් නොදුටු කිසියම් කරුණක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරවීමක් පමණි.අප මේ කථා කරන්නට යනුයේ ලාංකේය නව පරපුරේ සළකුණ වන රීමේක් (remake) කිරීම පිළිබඳවය.
ඔය රීමේක් ගැන මට ඇති ප්‍රශ්න කිහිපයක් වේ. ඒවානම්,
- රීමේක් යනු කුමක්ද?
- රීමේක් කිරීමේ අරමුණ කුමක්ද?
- රීමේක් කිරීමේ සැබෑම අවශ්‍යතාවක් තිබේද?
පළවෙනි ප්‍රශ්නය නම් මා අසනුයේ කුපාඩි කමට නොව හැබැහින්ම ඔය රීමේක් කියන කඩ්ඩ වචනයේ තේරුම නොදන්නා නිසාය. එම පැනයට පිළිතුර මම ගූගල් දේවේන්ද්‍රයාගෙන් විමසූ කල, උන්වහන්සේ මා මෙම සබැඳිය වෙත රීඩිරෙක්ට් කරන්නට යෙදුනි. මෙම සබැඳිය එම වචනය සඳහා වන අරුත් නිරූපණයකටත් වඩා, ඔවැනිම ජනප්‍රිය වචනයක් වන කවර් (cover) යන්න සමග සංසන්දනය කිරීමට උත්සාහ දැරීමකි.
මෙම සබැඳිය හා අදාල වෙබ් අඩවිය ගැනත් කෙටියෙන් සඳහනක් කිරීම උචිත යැයි මම සිතමි. Stack Exchange වෙබ් අඩවි ගොන්නෙහි තවත් එකක් වන මෙම Music Fans Beta අඩවියද, Stack Exchange ක්‍රමයටම ක්‍රියාත්මක වන එකකි. ඔබට ප්‍රශ්න ඇසිය හැක. එම ප්‍රශ්න ඇසීමේදී ඔබ පිළිපැදිය යුතු කරුණු කිහිපයක් තිබේ. එම ප්‍රශ්නයට පිළිතුර දන්නා අයෙකු වේ නම් ඔහුට ඒ සඳහා පිළිතුරු දිය හැක. ප්‍රශ්නය හා පිළිතුරු යන සියල්ලෙහිම තත්ත්වය, නිවැරදිබව, යථාර්ථවාදී බව වැනි සාධක අනුව අනෙකුත් සාමාජිකයන්ට ඒවා වෙනුවෙන් ඡන්දය ලබාදීමට සහ ඒවා වාර්තා කිරීමට හැකියාව තිබේ.
නැවතත් මේ පිළිබඳව අසා ඇති ප්‍රශ්නය සම්බන්ධ සංඛ්‍යාලේඛන ගැන සළකා බැලුවහොත්, මින් වසරකට පෙර විමසා ඇති මෙම ප්‍රශ්නය මෙම ලිපිය කොටන මොහොත වන විට 7877 වතාවක් කියවා ඇති අතර, ප්‍රශ්නය වෙනුවෙන් මනාප 22ක්ද, වැඩිම මනාප හිමි පිළිතුරට මනාප 15ක්ද ලැබී තිබිණි. සරලව කියන්නේ නම්, මෙම ප්‍රශ්නය සහ පිළිතුර මෙම ප්‍රජාව අතර සැලකිය යුතු අවධානයක් දිනාගෙන තිබෙන අතර, එහි ඇති මතවාදයන් ද බහුතර වශයෙන් පිළිගැනීමට ලක්ව තිබේ.
එහි ඇති සංසන්දනයට අනුව සාමාන්‍ය වශයෙන් ගත් කල, කවර් එකක් යනු කිසියම් ගීතයක් වෙනස් අයුරකින් අර්ථ නිරූපණය කිරීමක් (reinterpretation) වන අතර රීමේක් එකක් යනු ගීතයක් නැවත මුල සිට නිෂ්පාදනය කිරීමකි (reproduction). තවත් කෙනෙකුට අනුව රීමේක් යන්නට, සංගීත සන්දර්භය තුළ හරි හමන් නිර්වචනයක් සොයාගැනීම අපහසුය. මේ කියන "මුල සිට නැවත නිෂ්පාදනය" යනු කුමක්දැයි තවදුරටත් විමසා බැලීම වටී. සංගීත කෘතියක් නිෂ්පාදනය කිරීම යන ක්‍රියාවලියට අදාල කාර්යයන් බොහෝ වේ. පද රචනය, තනු නිර්මාණය, සංගීත සංයෝජනය, ශබ්ද පරිපාලනය, පටිගත කිරීම, වර්තමානයේ නම් පටිගත කල එක මෘදුකාංගයක පිහිටෙන් තවත් ඔප මට්ටම් කිරීම (අලුතෙන් සින්දු කියන අපේ වැඩි හරියක් බූරුවන්ට ස්ටේජ් එකක ලයිව් සිංග් කරන්න බැරි reason එක) යනාදී සියල්ලම අදාල වනුයේ ඔය කියන නිෂ්පාදන කර්තව්‍යයට ය. "remake යනු reproduction ය" යන පදනමේ සිට ගත් කල, ඔය රීමේක් කරන ඇත්තන් කරනුයේ, මා ඉහතින් සඳහන් කල අනුපිළිවෙල, කිසියම් ගීතයක් සඳහා ආපසු කිරීමකි (අඩුම වශයෙන් නාමිකව හෝ එසේ විය යුතු වේ).
අංක 2 ගත් කළ, මට පෙනෙන හැටියට නම්, මේ වන විට කර ඇති සියලුම සිංහල රීමේක් වල අරමුණු හුදෙක් මූල්‍යමය සහ භෞතික ඒවා විනා අන් කවරක්වත් නොවේ. ඒ හැර, ඒ එකකින් වත් සංගීතයෙහි මූලික අභිමතාර්ථයක් වන "ශ්‍රාවක රසවින්දනය" වෙනුවෙන් සිදුවන යමක් නැත. එව වෙනුවට, "ශ්‍රාවක රසවින්දනය" යන්න බලු බල්ලාට යන්නට ඉඩහැර එවැන්නක් ගැන විමසූ විට "ඒ මොකක්ද?" අසන තැනට වැටී තිබේ. මේ මට හිතෙන හැටිය. වරදක් තිබේද? කොමෙන්ටුවක් කෙටීමේ නිදහස ඔබට ඇත.
මෙහි ඇති වඩාත්ම රසබර කොටස අංක 3 ය. කල්පනා කර බැලූ විට, මුලින් නිෂ්පාදනය කළ සංගීත කෘතියක් නැවත නිෂ්පාදනය කිරීමට හේතුවක් තිබිය යුතුය. සාමාන්‍යයෙන් අප යමක් නැවත කරනුයේ එක්කෝ එය වැරදුනු විටය. එසේත් නැතිනම් එම ප්‍රතිදානය පිළිබඳව අපට සෑහීමකට පත් විය නොහැකි වූ විටය. එසේ කරනුයේ එම කෘතියේ කතුවරයා මිස, එසේ කිරීමට නෛතිකව හා සදාචාරාත්මකව හිමිකම් ඇත්තේ එම කෘතියේ කතුවරයාට මිස, එම කෘතියට මොනම අන්දමකින් වත් අදාල නැති, එම කෘතිය පිළිබඳ හරහක් දිගක් නොදන්නා නන්නත්තාරේ යන වට පඩයෙකු නොවේ. ඔබේ දරුවෙකුගේ අඩුපාඩු ඇතැයි කියා එම දරුවා රීමේක් කරන්නට යැයි කියා පිට එකෙකු අප්පා වීමට පැමිණියහොත් තත්ත්වය කවරාකාර වේවිද? (මෙහි රීමේක් යන වචනයේ අර්ථය මම විවෘතව තැබීමට තීරණය කළෙමි. එය ඔබට අභිමත පරිදී වටහා ගැනීමේ, අභිමත යමක් ආදේශ කිරීමේ නිදහස තිබේ.) මෙම උදාහරණය මේ අයුරින් යොදන්නට හේතුව මගේ වනචර කට සහ හිත නොවේ. මුදල පසුපස පමණක්ම හඹා යමින් පරිගණක මෘදුකාංගයක ආධාරයෙන් මොනවා හෝ කුණුහරුප වැලකට අනුව සරිගම කන එවුන්ටත්, අනුන්ගේ සින්දු ප්‍රසංග වේදිකා ගානේ කියමින් සල්ලි ගරන කැණහිලුන්ටත් නැතුවාට, තම දහදිය මහන්සියෙන්, තම වේලාව කැප කර, තම පරිකල්පන ශක්තිය මෙහෙයවා සුවහසක් ශ්‍රාවක ජනී ජනයාගේ සිත් සතන් නානාවිධ හැඟුම් වලින් කළඹාලිය හැකි නිර්මාණයක් බිහිකරන්නට දුක් කම්කටොළු විඳි නිර්මාණ කරුවෙකුට සිය නිර්මාණය තම ලෙයින් උපන් දරුවෙකු හා සමාන බව නොකිවමනා ය. එවන්, ශ්‍රාවක සිත් සතන් නානාවිධ හැඟුමින් පුරවාලන කෘතීන් සුජාත දරුවන් වැනියැයි කීවාට වරදක් නැත. මෙහි "සුජාත" යන වචනය "සුභාවිත" යන වචනය හා පටලා නොගත යුතු බව අවධාරණයෙන් කිව යුතුමය. ඔය "සුභාවිත ගීතය" හා ඒ යට සැඟවුණු "කුහක කම" පිළිබඳව වෙනත් ලිපියකින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.
අනෙක් අතට, "යමක් නැවත කරන්නට නම් එක්කෝ එය වැරදී තිබිය යුතුය. එසේත් නැතිනම් එහි අඩුපාඩු තිබිය යුතුය" යන කාරණය, කලා කෘතියක් විෂයෙහි ලා ගත් කල සත්‍යයක් නොවේ. එනම්, කිසියම් කලා කෘතියක් ගත් කල, එය කිසියම් සංස්කෘතියක් හා යම් යම් නොගැලපීම් තිබිය හැකි වුවත්, එහි අඩුපාඩු හෝ වැරදි තිබේ යැයි කිසිවෙකුට කිව නොහැක. සරල උදාහරණයක් ගනිමු. 2 + 2 යන්නෙහි පිළිතුර 5 යැයි කෙනෙකු කිවහොත් එහි වරදක් තිබේ. මන්ද, එම පිළිතුර ගණිතයේ සිද්ධාන්ත වලට පටහැනි නිසාය. "අපි පන්සල් ගියේය." යන වාක්‍යය තුල වරදක් තිබේ. මන්ද එහි වියරණ භාවිතය, සිංහල භාෂාවේ වියරණ නීති උල්ලංඝනය කර තිබේ. "අපි ගියෙමු." යන වාක්‍යයෙහි අඩුපාඩුවක් තිබේ. මන්ද, ගියේ කොහේද යන්න එයින් ගම්‍ය මාන නොවේ. ඔන්න ඔවැනි "නිරපේක්ෂ" දෑ අපට නිවැරදි කළ හැක. ඒවායෙහි පවතින අඩුපාඩු සකස් කළ හැක. ඔවැනි ඒවා "රීමේක්" කලාට කම් නැත. ඒවා "රීමේක්" කළ යුතුව තිබේ. නමුත් සංගීත කෘතියක් තුළ එවැනි නිරපේක්ෂතාවක් නැත. මන්ද එය කිසියම් මූලද්‍රව්‍ය කිහිපයක් නිර්මාණ කරුවාගේ පරිකල්පන ශක්තිය හා සංයුක්ත වීමෙන් සැදුනු අනන්‍ය ප්‍රතිදානයකි. එයටම ආවේණික අනන්‍යතාවක් එම කෘතිය සතු වේ. එම අනන්‍යතාව හොඳද නරකද යන්න කිසිදු අයෙකුට නිරපේක්ෂ ලෙස සම්මතකරණය කළ නොහැක. කෙනෙකුට හොඳ නිර්මාණයක් තවත් කෙනෙකුට හොඳ නොවිය හැක. "මේක මට හොඳ නෑ. ඒක නිසා මම මේක රීමේක් කරනවා" කියා එය වෙනස් කරන්නට යාමෙන් සිදුවනුයේ, එම කලා කෘතියට හිමි අනන්‍යතාව කඩ වීමත්, ඒ හරහා එම කලා කෘතිය "රේප්" වීමත් පමණි. ඔය රීමේක් කරන ඇත්තන්ගෙන් මට අසන්නට ඇත්තේ, "අනුන්ගෙ ළමයින්ට අලුතෙන් උප්පැන්න දෙන්න යනවාට වඩා තමන්ගේ එකෙක් වදා හදා ගත්තා නම් නරකද?" කියාය.
මට පෙනෙන දෑ අනුව, මෙතැන ඇති හොඳම සෙල්ලම ඔය එකක්වත් නොවේ. අද වන විට රීමේක් කරන්නට යෙදුනු ගීත ගණනාවක්, ඒවායෙහි මුල් කෘතිය හා සසඳා බලන කල මා දුටු ඉතාම "ෆන්" සහගත කාරණා කිහිපයක් වේ. ඒවා නම්,
- බොහෝ දුරට මුල් කෘතියේ තනුව හා සමානය. ඉතාම කලාතුරකින් එහෙමත් තැනක දෙකක අලංකාරයන් (එහෙම කියන්න පුළුවන්ද මන්දා) යොදා ඇත.
- පද රචනයෙහි කිසිදු වෙනසක් නැත. ඉඳ හිට "රැපක්" ඔබා ඇත. එයින් සිද්ධ වන දේ කුමක්දැයි ඔබ හොඳාකාරවම දනී.
- සංගීත සංයෝජනය කරනුයේ පරිගණක මෘදුකාංගයක් මගිනි. එම නිසා ඒවායෙහි ඇති එකම නාදයක් වත් සැබෑ සංගීත භාණ්ඩ (Acoustic) ඒවා තරම් මිහිරි නැත.
- ගායකයාට විලි ලැජ්ජාව කියා නාමයක් නැත. ඒ ගායනයට, මුල් ගායනය හා අලගු තැබීමට වත් නොහැක. හඬ පෞරුෂයක් ගෑවිලාවත් නැත. කරන එකම දේ ගැහැණු පිරිමි අතරමැදි හඬකින් "ඤුරු ඤුරු" ගෑම පමණි.
- අර "ඤුරු ඤුරු"ව පරිගණක මෘදුකාංග මගින් බොහෝ සේ කපා කොටා ඔප මට්ටම් කර හැඩ වැඩ දමා ඇත. (මේක් අප් දමා ගැහැණුන්ගේ මුහුණු වල වල ගොඩැලි පුවරන්නාක් මෙන්)
මෙම කරුණු ගැන සිතා බැලූ කල, සිහියෙන් ජීවත් වන්නෙකු "මේ ටික කළාම රීමේක් වෙනවද?" කියා ඇසුවහොත් එහි පුදුම වන්නට කිසිදු කාරණාවක් නැත. හිතට එකඟව, සංගීතය පිළිබඳව සවිඥානිකව ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ "මලට බඹරෙකු සේ", නාමල් උඩුගමගේ "රෑ සිහිනෙන්", ප්‍රියා සූරියසේනගේ "ඈත රන් විමන්" වැනි ගීත හා ඒවායේ රීමේක් සංස්කරණ වලට සවන්දී බලන ලෙස මම ඔබට යෝජනා කරමි. එවිට මා ඉහතින් ලැයිස්තු ගත කළ කාරණා ඔබට පසක් වනු ඇත. අරමුණ කුමක් වුවත්, කරුණු කාරණා සිද්ධ වනුයේ උක්තයෙහි සඳහන් අන්දමින් නිසා, බොහෝ රීමේක් වල අවසන් ප්‍රතිඵලය, ජාගර අවර ගණයේ එකක් වී තිබේ.
ඉතාම අතලොස්සක් රීමේක්, එම ගීතවල මුල් කෘතීන්ට වඩා සාර්ථක වූ බවත්, ජනප්‍රිය වූ බවත් මම පිළිගනිමි. ඉතාම සුළු ප්‍රතිශතයක් රීමේක්, මුල් කෘතීන්ට වඩා සාර්ථක බව මටද සමහර විට වැටහී තිබේ. සමහරක් මුල් ගීත එතරම් ම ජනප්‍රිය නොවූ නමුත් ඒවායෙහි රීමේක් සාපේක්ෂව වැඩි ජනප්‍රියතාවක් ලබා ඇත. නමුත් ඒ එකකින් වත් "මේක අනුන්ගෙ වැඩක් තමුන්ගෙ නමින් ආපහු කරන එකක්" යන කාරණය වෙනස් නොවේ. තමුන්ට පුළුවන් නම්, අනුන්ගේ රෙද්දවල් අස්සේ රිංගන්නට නොයා, තම හැකියාව ප්‍රචලිත වන යමක් ප්‍රතිදානය කළ යුතුය. කෙනෙක් "වැඩ්ඩෙක්" වන්නෙ එවිටය. ජෝති හොඳ වැඩ්ඩෙකි. හැබැයි අනුන්ගේ (වැඩි හරිය මොහොමඩ් රාෆිගේ) තනුවලට සිංහල වචන දමා ගායනා කිරීම පිළිබඳව කුප්‍රකටය. "ඔබ නිදන්න ඔබ නිදන්න" ගීතය "පට්ට" ගීතයක් වන්නේත්, "සමන් මල් පියල්ලෙ" ගීතය "මෙලෝ රහක් නැති" එකක් වන්නේත් එබැවිනි. මෙම සබැඳියට අනුව, පනහේ දශකයේ මුල සිට මේ දක්වා ගීත 101කට වැඩි ප්‍රමාණයක් අපි විසින් කොපි කැට් කර ඇත්තෙමු. ලාංකේය රීමේක් කලාවට එතරම් ම දිගු ඉතිහාසයක් ඇත. අපේ විලි ලැජ්ජා නැති කම ඒ තරම් පරණය; ඒ තරම් ලොකුය. එම ගොන්නෙන් ගීත 32ක් ඉදිරියෙන් ජෝතිගේ නමද ලියැවී ඇත.
අවසන් වශයෙන් ගත් කල, මා දකින, මට හැඟෙන දැනෙන හැටියට නම්, රීමේක් යනු තම තමන්ගේ බැරිකම වසාගන්නට, අනුන්ගේ දරුවන් ගැන පීතෘත්වය ප්‍රකාශ කිරීමකි. ඒ හරහා ප්‍රසිද්ධියක් ජනප්‍රියත්වයක් ලබා ගැනීමට කරන තුට්ටු දෙකේ වැඩකි. විලි ලැජ්ජා නැතිකම මෙරටේ පමණක් නොව මුළු ලෝකය පුරාම ප්‍රසිද්ධ කිරීමකි. මා මේ වචන මෙසේ පෙලගස්වනුයේ වදින තැන් වලට වදින්නත්, රිදෙන තැන් වලට රිදෙන්නත් ය. එසේ රිදෙන එවුන් "තමුසෙට හරියට සින්දුවක් විසිල් කරගන්නවත් පුළුවන්ද", "මේව කියන්නෙ තමුසෙ මියුසික් ගැන මොනවා දැනගෙනද?", "කවුරු හරි එකෙක් ගොඩ යනවට තමුසෙ කැමති නැද්ද?", "රීමේක් කරන එක ගැන තමුසෙට තියන අහවල් එකේ අමාරුව මොකක්ද?" යැයි කියා මගෙන් අසනු ඇත. එවුන් හට පිළිතුරු දෙන්නට මගේ බලාපොරොත්තුවක් නැත. එකම කරුණ නම්, තම හැකියාව හා පරිකල්පන ශක්තිය මෙහෙයවා, ලාංකේය සංගීත කලාවේ දිශානතිය, නවමු මංපෙත් ඔස්සේ හසුරුවන්නට වෙර දරනවා, කටයුතු කරනවා වෙනුවට එක එකාගේ ළමයින්ට අලුතෙන් උප්පැන්න ලියන්නට යාම නීති හා සදාචාර විරෝධී පමණක් නොව, ලාංකේය සංගීත කලාවේ අනාගතයට එතරම් සුභදායක නොවන බවය.
මෙම කාරණා සියල්ල එලඹ සිටි සිහියෙන් නුවණින් යුතුව සිතා විමසා බලා, තුන් වැනි ප්‍රශ්නයට ඔබේ පිළිතුර කොමෙන්ටුවක සටහන් කර තබන ලෙස ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි...
මෙම කාරණා සියල්ල එලඹ සිටි සිහියෙන් නුවණින් යුතුව සිතා විමසා බලා, තුන් වැනි ප්‍රශ්නයට ඔබේ පිළිතුර කොමෙන්ටුවක සටහන් කර තබන ලෙස ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි...
සංගීතය විශ්ව භාෂාවක් බව හැබැව ... එකම නිර්මාණය විවිධ රුපාන්තරණ වලට ලක් වීම ස්වභාවික ක්‍රියාවලියක්. සොබධහමේ නිතිය එයයි. යම් මුල් කෘතියක විදීම ඒ අයුරෙන්ම අපට කවරයක හෝ ප්‍රතිනිර්මාණයක බලාපොරොත්තු වන්නට බැහැ . එසේ වූ කල එය නැවත ගයිමක් මිස එයින් එහා කිසිවක් නැහැ. 'හානිය' කියන්නේ සාපේක්ෂ වදනක් (මට හිතෙන හැටියට )
ReplyDeleteකොමෙන්ටුවට ස්තුතියි.. :)
Delete