Subtitle

මමතුමාට හිතෙන පිස්සු මමතුමාගේ වචන වලින් මමතුමාම ලියන මමතුමාගේ වැයික්කිය...! ඇයි අවුල්ද?? :D

Sunday, June 11, 2017

නිදහස් අධ්‍යාපනය හා කුහක කම

මිනිසාට උපතේදී හිමිවන, මරණින් මතුවටත් වලංගු වන අයිතිවාසිකම් ගණනාවකි. නානාවිධ එවන් අයිතීන් අතර අධ්‍යාපනයට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. විශේෂයෙන්ම ලාංකීය සන්දර්භය තුල අධ්‍යාපනය යනු එක්තරා ආකාරයක "ගොඩයාමේ" මාර්ගයක් ලෙස අරුත් නිරූපණ ලබා ඇති බව අපි දනිමු. මේ කියන ගොඩයාම හා ඒ හා බැඳුනු කරුණු කාරණා කවරාකාර වුවද වර්තමාන සමාජ සන්දර්භය තුල මෙම කාරණය යම්තාක් දුරකට හෝ සත්‍ය වන බවද අපට අවිවාදයෙන් පිළිගත යුතුව ඇත.
මෙහි ඉතිරිය සම්පූර්ණ කරනට මතුයෙන් මම මා ගැන මදක් කතා කරනට කැමැත්තෙමි. මම මේ මොහොත වන විට මෘදුකාංග නිෂ්පාදනය හා සම්බන්ධ ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස සේවය කරමින් සිටිමි. ඒ තැනට පැමිණ සිටින මම, පෞද්ගලීකරණය වූ නිදහස් අධ්‍යාපනයක් ලබා එම ස්ථානය අත් කරගත්තෙක් වෙමි. ඒ, අන්තර්ජාතික විශ්ව විද්‍යාල වර්ගීකරණයේ, මේ වන විට අප රටේ ඉහළම තත්වය හිමි කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණවේදී උපාධිය බාහිර ශිෂ්‍යයෙකු ලෙස සම්පූර්ණ කිරීමෙනි (ඔව්! බාහිර, ඒ කීවෙ එක්ස්ට(ර්)නල්). එය ලබා ගත්තේ ඒ සඳහා විශ්ව විද්‍යාල ලියාපදිංචි, විභාග හා ඇගයීම් ගාස්තු ලෙස කොළඹ විශ්වවිද්‍යාලයට රු.60000.00 කට වැඩි මුදලක් ද, දේශන හා නිබන්ධන ගාස්තු ලෙස, රටේ නම ගිය පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකට ආසන්න වශයෙන් රු.150000.00 මුදලක් ද ගෙවීමෙන් අනතුරුවය. සමස්ත වශයෙන්, රටේ නිදහස් අධ්‍යාපනයට පින් සිදුවන්නට, එම අධ්‍යාපන සුදුසුකම ලබා ගැනීම සඳහා මට ආසන්න වශයෙන් රු. 210000.00ක් පමණ වියදම් කරන්නට සිදුවිය. 
මේ ගණන් මිනුම් මෙලෙසින් ලියා දැක්වූයේ, මාගේ කෙරුවාව ගැන හෝ මාගේ ක්‍රය ශක්තිය පිළිබඳව පම්පෝරි ගසන්නට නොවේ. එමෙන්ම ඒ වියදම කිරීමට සිදුවීම ගැනවත්, කොළඹ විශ්වවිද්‍යාලය මාගෙන් මුදල් අයකිරීම පිළිබඳව වත් මට කිසිදු අන්දමක තරහක්, ක්‍රෝධයක් නැත. මා මේ කතාන්දරය කීවේ අද කාලේ අපේ රටේ ඩිග්ගිරියක් ගහන්නට යන අයෙකුට දරාගන්නට වෙන සන්තෑසිය ගැන ඉතා කුඩා අදහසක් ඔබට ලබාගන්නටය. ලංකාවේ වත්මන් තෘතීයික අධ්‍යාපන පද්ධතිය තුළ මේ රු.210000.00 යනු මගේ දැනුමේ හැටියට අවමතර වියදම වේ. මෙම ගණන, තමුන් හදාරන විෂය පථය අනුව වෙනස් වේ. බොහෝ පෞද්ගලික ආයතන තුල මෙම ගණන 3න් හෝ 4න් ගුණ කල යුතුය. වැරදීමකින් හෝ විෂයක් අසමත් වුවහොත් නැවත දේශන ගාස්තු සහ විභාග ගාස්තු වෙන වෙනම ගෙවිය යුතුය. බෝඩින් ගාස්තු ගෙවිය යුතුය. කන්නට බොන්නට වියදම් කළ යුතුය. මෙකී නොකී සියල්ලම එකතු කොට ගත් කල, සමහර අයෙකු අධ්‍යාපනය සඳහා කරන වියදම (හෝ ආයෝජනය ) රු. මිලියන 1.5කුත් ඉක්මවිය හැක. මෙය පෞද්ගලික වෛද්‍ය උපාධියක් නම් ඉහත කී මිලියන 1.5 තවත් හයේ සිට දහය දක්වා ගණනකින් අනිවාර්යයෙන්ම ගුණ කල යුතුය. අධ්‍යාපන සුදුසුකමක් පෞද්ගලික අංශයෙන් හිමිකරගන්නට යන තැනැත්තෙකුට හැප්පෙන්නට සිදුවන මූල්‍යමය අභියෝගය හා සම්බන්ධ ඉලක්කම් ඒ පරිදී වේ.
සයිටම් (SAITM) නැතහොත් තාක්ෂණය සහ වෛද්‍ය විද්‍යාව සඳහා වන දකුණු ආසියාතික ආයතනය, වත්මන් ලංකාවේ සියළුම ක්ෂේත්‍ර වල බරපතල ආන්දෝලනයකට තුඩු දී ඇති මාතෘකාවකි. ඊයේ පෙරේදා දිනෙක මා දුටු හැටියට කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන්, ඔවුන් විසින් කොළඹ වෛද්‍ය පීඨය ඉදිරි පස පාර අයිනේ අටවාගත් පැලක වාසයට පැමිණ දින 493කි. පේරාදෙණිය වෛද්‍ය පීඨ සිසුන් මහපාරේ වාසයට සපැමිණ ද එතරම්ම කලක් ගත වී ඇත. පේරාදෙණිය ගලහ මංසන්ධිය, කොළඹ කොටුව හා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට, කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල ආදී මෙකී නොකී ස්ථානවල කෙළවරක් නැති උද්ඝෝෂණ පෙළපාලි ය. පොලිස් කැරලි මර්දන ඒකකයට බවුසර් වලට වතුර පිරවීමෙන්, කඳුළු ගෑස් ගැසීමෙන්, රබර් උණ්ඩ වලින් වෙඩි තැබීමෙන්, බැටන් පොලු ප්‍රහාර දියත් කිරීමෙන් කෙළවරක් නැත. පාරේ එදිනෙදා වැඩට යන අපට කඳුළු ගෑස් කෑමෙන්, රථවාහන තදබද තුල කාලය, ශ්‍රමය හා ධනය කාබාසිනියා කර ගැනීමෙන් සහ අතොරක් නැතිව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දත කට විකාගෙන විප්ලව කරන, මහපාරේ යකා නටන "අන්තරේ උත්තමයන්ගේ" නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් බදු ගෙවීමෙන් කෙලවරක්ද නැත.
ඕනෑම රටක, නැතහොත් ඕනෑම අධ්‍යාපන පද්ධතියක ඇති මූලික අභිමතාර්ථ තුනකි. ඒවා නම්
  1. දැනුම
  2. කුසලතා
  3. ආකල්ප
යනාදී වශයෙන් වේ. රොබට් ග්වෝ (Robert Kuok) යනු වර්තමාන මැලේසියාවේ අංක එකේ ධනවතා වේ. ෆෝබ්ස් (Forbes) සඟරාවට අනුව 2016 මාර්තු මස වන විට ඔහුගේ මුළු වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 11.3ක් ව පැවතුනි. ඔහු වරක් පැවසූ පරිදී "When I hire I look for great attitudes. I don't look for MBAs or PhDs." තේරෙන සිංහලෙන් කිවහොත්, ඔහුගේ සමාගම් වලට බඳවා ගැනීමේදී, අධ්‍යාපන සුදුසුකම් වලට වඩා වැඩි තැනක් යහපත් ආකල්ප වලට හිමිවන බවය. එමෙන්ම, ප්‍රකට ලේඛකයෙකු සහ අභිප්‍රේරණ කථිකයෙකු (motivational speaker) වන සයිමන් සිනෙක් (Simon Sinek) ට අනුව "You don't hire for skills, you hire for attitudes. Skills you can always teach." නොහොත්, ඔබව රැකියාවකට බඳවා ගැනීමේදී වඩා වැඩි බරක් හිමිවනුයේ ඔබගේ ආකල්ප වලට මිස ඔබගේ කුසලතාවන්ට නොවේ. මන්ද කුසලතාවක් අත්පත් කරගැනීමට නම් හොඳින් පුහුණුව ලැබීම පමණක් ප්‍රමාණවත් වේ. යහපත් ආකල්ප ඇති අයෙකුට එම පුහුණුව ලබාදීම සහ එය සම්පූර්ණ කිරීම කජු කනවා හා සමාන සෙල්ලමක් වේ. අවශ්‍ය වනුයේ යහපත් ආකල්ප සමග හොඳ මූලික දැනීමක් පමණි.
මෙකී ආකල්ප පිළිබඳව කතාව මදකට පසෙකින් තබා, මීට මාස කිහිපයකට පෙර මාගේ නෙත ගැටුණු මෙම බ්ලොග් ලිපිය දෙසට ඔබේ අවධානය මෙතැන් පටන් ගෙනයනු කැමැත්තෙමි. සත්‍ය වශයෙන්ම මෙම ලිපිය, එය අඩංගු බ්ලොග් අඩවිය පවත්වාගෙන යනු ලබන ෆාතිමා හනිෆා මෙනෙවියගේ අදහස් නොව, කොළඹ වෛද්‍ය පීඨයේ තෙවන වසරේ සිසුවෙකු විසින් ලියන ලද්දකි (තෙවන වසර යන්න bold කර underline කර ඇත්තේ ඇයි? එයට පිළිතුර පසුව බලාපොරොත්තු වන්න). එම කරුණු මේ බ්ලොග් අඩවිය හා ඈඳා ඇති බව පෙනේ. එම ලිපියේ මාතෘකාව ලෙස යොදා තිබුණේම අතිශය රසවත් වචන තෝරාගැනීමක් වන "කුහකයින් කීමට පෙර කියවන්න! ඔබ දැනුවත්ද? " යන්නය. මෙතුවක් කලක් මෙම ප්‍රශ්නය හා සම්බන්ධව කට නොඇර සිටි මම, මෙම ලිපිය දෙතුන් වරක් මුල සිට අගට කියවීමෙන් අනතුරුව, මේ ලියන්නේ ඉහත කී ලිපියේ අඩංගු, නිර්ව්‍යාජ, අවංක කමේ බැටළු හම තුල සැඟවගත් කුහක කමේ හිවල් ගතිය පෙන්වාදෙන්නටය. කරුණාකර මතක තබාගන්න! මේ ප්‍රහාරය "දොස්තරලාට" එරෙහිව මිස "ජීවකයන්ට" එරෙහිව නොවේ. මේ කරන්නේ වෛද්‍ය වෘත්තීයේ බර හෑල්ලු කිරීමක් නොවේ. එසේත් නැතිනම් SAITM මත සුදුහුණු ගෑම නොවේ. SAITM කෙරුවාව හරියන්නේ නැති බවට තර්ක දෙකක් නැත. කරුණාකර වල්ගය පාගාගැනීමෙන් වලකින්න! මේ කියන්නේ අනෙක් විෂයයන් ද වෛද්‍ය වෘත්තිය තරම්ම අමාරු, අසීරු බව මිසක් වෛද්‍ය වෘත්තිය ලේසිය කියා නොවේවැඩේට බහිමු!
ඉහත ලිපියේ පටුනට පසුව ඇති ඡේදයේ, පස්වන වාක්‍යය දෙස බලන්න. එය "තව කෙනෙකුගේ ජීවිතය පිළිබද තීරණ ගැනීමේ බලය මුදලට විකිණීමද වඩා සාදාරන නැතිනම් සුදුස්සාට එය ලබා දීමද?" යනාදී වශයෙන් වේ. එහි කිසියම් අවුලක් ඇති  බව ඔබට පෙනේද? තවමත් නොදුටුවේනම් යටි ඉරකින් සලකුණු කර ඇති වාක්‍යාංශය දෙස නැවත බලන්න. මා දන්නා පරිදී වෛද්‍යවරයෙකුට ඇත්තේ ජීවිත ජීවත් කරවීම පිළිබඳ "වෘත්තීයමය වගකීමක් හා වගවීමක් (professional responsibility and accountability)" මිස, ජීවිත පිළිබඳ "තීරක බලයක් (decisive power)" නොවේ. එම වචන භාවිතය අත්වැරදීමකැයි කෙනෙකුට තර්ක කල හැක. එසේනම් එය නැවත නැවත සිදුවන "යකාගේ මහා එකාගේ ජාතියේ" අත්වැරදීමක් විය යුතුය. මන්ද, එකම වරද නැවත නැවතත් සිදුවී තිබේ. තවෙකෙකුට එය වචනයේ තේරුම හරිහැටි නොදැනීම නිසා සිදුවූ වරදක් ලෙස එය අර්ථකථනය කල හැක. වචන වල තේරුම නොදන්නේ නම් එක්කෝ නිවැරදි තේරුම සොයාගෙන, තැනට ගැලපෙන නිවැරදි වචන භාවිත කල යුතුය. එසේ නොහැකිනම් නොදන්නා දෙමළෙට ගිහින් වරිගය නසා නොගෙන වැඩක් බලාගෙන සිටිය යුතුය. එක් පුද්ගලයාට  හිමි කර්ම ශක්තියට සහ චිත්ත ශක්තියට පමණක් ම ගතහැකි "ජීවිතය පිළිබඳ තීරණය", සක්කරයාට මහබඹාට වත් ගත නොහැකි "ජීවිතය පිළිබඳ තීරණය" ගැනීමට ඇති සුදුසුකම් ගැන තවමත් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනයෙන් අඩක්වත් නිම කර නැති තෙවන වසරේ සිසුවෙකු හිමිකම් කියවන්නේ නම්, එතන මා ඉහතින් සඳහන් කල "ආකල්ප" පිළිබඳ බරපතල ගැටළුවක් නොවන්නේ වේද? "දොස්තර" කෙනෙකු වන්නට රෑ එළිවන තුරු ක්‍රෑම දමා, ගිරවා දමා විභාග ගොඩයාමත්, ප්‍රොෆාට මුට්ටිය අල්ලා හෝ මොනවා හෝ මගුලක් කර ෆයිනල් එග්සෑම් සහ ප්‍රැක්ටිකල් ගොඩ දැමීමත් ප්‍රමාණවත් වේ. හැබැයි එය "ජීවකයෙකු" වීමට කොහෙත්ම ප්‍රමාණවත් නොවේ. ජීවකයෙකු වන්නට මුලින්ම අනෙකාට හිමි නිසි ගෞරවය ලබා දෙන්නට උගත යුතුය. දෙවනුව මනුෂත්වය සහ එහි හැටි සොබාව හරිහැටි වටහාගත යුතුය. ජීවිත පිළිබඳ තීරක බලය ඉල්ලා බෙරිහන් දෙන මේ පුතයාට ජීවකයෙකු විය හැකිද? තීරණය ඔබට භාරය.
මේ දක්වා මා සාකච්ඡාවට බඳුන් කළේ ඉහත ලිපියේ මට එතරම්ම අදාළ නොවන හරිය ය. අදාළ වන හරියද මීට දෙවෙනි නැත. පහතින් දැක්වෙනුයේ ඒ අදාළ හරිය ය. එම ලිපියට අනුව එය එහි තුන්වන කොටසය. මම එය එලෙසින්ම පිටපත් කරමි.

3.අනෙක් සියළු පාඨමාලා වලට අදාළ නැති වෛද්‍ය විද්‍යාවට පමණක් අදාළ අමුතු නීතියක් ඇයි?
මේ උදාහරණය කිසිදු රැකියාවක් හෝ පාඨමාලාවක් පහත් කිරීමට නොවේ. යමෙක් IT ක්ෂේත්‍රයේ උපාදියක් ලබා රැකියාවක් කරනවා යයි සිතමු.ඔබට software code එකක් අමතක වුවහොත් එය google කර ඔබේ කටයුත්ත කල හැකියි.accountant කෙනෙකුට ඉගන ගත් theory කොතරම් අමතක වුවත් සතියක් එක සමාන ගිණුම් කටයුතු වල යෙදෙන විට,ඊලග වාරයේ ඔහුට එය කල හැකියි,එනම් ඔහුට field එකෙන් ඉගන ගත හැකියි.නමුත් ඔබ වෛද්‍ය වරයෙකු වී හදිසි ලෙඩෙකු පැමිණි විට ඔහුට ප්‍රතිකාර කරණ සැටි google කල නොහැකියතනිව වාට්ටුවක් බාරව සිටින විට අසා ගන්නට කෙනෙකු නැත.ඔබට field එකෙන් ඉගන ගන්නා තුරු හමුවන රෝගීන් මිය යනු ඇත.එකිනෙකට වෙනස් රෝග දහස් ගණනක් හා ප්‍රතිකාර මතක තබා ගැනීමට ඉහල මතක ශක්තියක් අවශ්‍ය බව අමුතුවෙන් කිවයුතු නොවේ. සමහරුන් සිතා සිටින්නේ වෛද්‍ය විද්‍යාලයක් යනු ලෙඩය සහ බෙහෙත කියා දෙන ආයතනයක් බවයි.වෛද්‍යවරු දන්නේ පෙනඩෝල් විටමින් පෙරිටන් වැනි බෙහෙත් කීපයක් පමණක් බවයි.ඔබ හැමදාම සෙම්ප්‍රතිෂාව හා උණට බෙහෙත් ගන්නට ගොස් විවිද බෙහෙත් අපේක්ෂා කිරීම විහිළුවක් නොවේද?

රසවත් නොවේද? මදක් සිටින්න. මෙහි වාක්‍යයක් වාක්‍යයක් ගණනේ සලකා බලමු.
  1. අනෙක් සියළු පාඨමාලා වලට අදාළ නැති වෛද්‍ය විද්‍යාවට පමණක් අදාළ අමුතු නීතියක් ඇයි? 
    • හොඳ ප්‍රශ්නයකි. එයට ඔබ දුන් පිළිතුරු වලට පිළිතුරු පහතින්...
  2. මේ උදාහරණය කිසිදු රැකියාවක් හෝ පාඨමාලාවක් පහත් කිරීමට නොවේ. 
    • මේ වාක්‍යය මා ඉහතින් සඳහන් කල "බැටළු හම"යි.
  3. යමෙක් IT ක්ෂේත්‍රයේ උපාදියක් ලබා රැකියාවක් කරනවා යයි සිතමු. ඔබට software code එකක් අමතක වුවහොත් එය google කර ඔබේ කටයුත්ත කල හැකියි.
    • පිළිතුරු වශයෙන් මට කියන්නට ඇත්තේ "රෙද්ද තමා!" කියා පමණි. මොහුට අනුව Google යනු සියල්ල දත් නොහොත් "අනන්ත ජින" ය. Software code එක Google කර මෘදුකාංග ලිවිය හැකි නම් මේ වන විට අපට රැකියාවල් නැති විය යුතුය. මෙය මොහුට පමණක් නොව "තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්" ලෙස තමුන්ව හඳුන්වා ගන්නා බොහෝ දෙනෙකුට වැරදුනු තැන ය. මෙවන් මුග්ධ චින්තනයන් නිසා ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට වැදුණු හෙණ ගෙඩිය ගැන කතා කරන්නට ගියොත් මේ ලිපිය බොහෝ දිගු වනු ඇත. ඒ ගැන අපි පසුවට සාකච්ඡා කරමු.
    • කොයි හැටි වෙතත් මේ "වෙන්ඩ දොස්තර" මහතාට මේ ටික නම් කිව යුතුය. මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ හරිහැටි නොදන්නේ නම් පහත සඳහන් මාතෘකා පිළිබඳ සබුද්ධිකව සහ සවිඥානිකව කියවන ලෙසත්, පහතින් ඇති වෙබ් අඩවි වල ඇති කරුණු පිළිබඳව විමසා බලන ලෙසත් යෝජනා කරමි.
    • මේ අවසානයට ඇති වෙබ් අඩවි තුන පිළිබඳව යමක් සඳහන් කළයුතුමය. එනම් ඒ සියල්ලක්ම, මෘදුකාංග ඉංජිනේරුවන් අතින් සිදුවූ වැරදි නිසා මිනිසුන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ අවස්ථාවන් ගණනාවක් අතුරෙන් කිහිපයක් පමණි. මේවා මෙසේ පෙළගස්වන්නට සිදුවීම ගැන මම අතිශයින්ම කණගාටු වෙමි. මන්ද යත්, මාද තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදියෙකු වන නිසාය. මා කටයුතු කරන ක්ෂේත්‍රයේ උදවියගේ වැරදි නිසා මිනිසුන් හට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවීම මට ලැජ්ජාවට කරුණකි. මේ සියල්ලක්ම සිදුවීමට මුල්ම සහ එකම හේතුව වෙන අන් කවරක්වත් නොව "තමාගේ වෘත්තීයමය වගකීම (professional responsibility) පැහැරහැරීම නිසා අත් වූ අවාසනාවන්ත ඉරණම්" වේ. සංක්ෂිප්තව කිවහොත් මෘදුකාංග සංවර්ධකයා (Software developer) තම වෘත්තීයමය වගකීම හරිහැටි වටහාගන්නා තුරු, ඒ අනුව කටයුතු නොකරන තාක් ඔහු/ඇය මෘදුකාංග ඉංජිනේරුවෙකු (Software Engineer) නොවේ. එපරිද්දෙන්ම තම වෘත්තීයමය වගකීම හරිහැටි වටහාගෙන ඒ අනුව කටයුතු නොකරන තාක්, හේ නිකන්ම නිකන් "දොස්තර" කෙනෙකු විනා නියම වෛද්‍ය නිලධාරියෙකු, නොහොත් ජීවකයෙකු නොවේ.
  4. accountant කෙනෙකුට ඉගන ගත් theory කොතරම් අමතක වුවත් සතියක් එක සමාන ගිණුම් කටයුතු වල යෙදෙන විට,ඊලග වාරයේ ඔහුට එය කල හැකියි,එනම් ඔහුට field එකෙන් ඉගන ගත හැකියි.
    • මේ ගැන කියන්නට මම ගිණුම්කරණය ගැන නොදන්නෙමි. නමුත් මම එක දෙයක් දනිමි. එනම්, වරලත් ගණකාධිකාරවරයෙකු වීමට, එසේත් නැතිනම් එම රාජකීය සන්නසට (Royal Charter) උරුමකම් කියන්නට, මේ කියන ජාතියේ ගණකාධිකාරීවරුන්ට නම් මේ කපේදී නොහැකි බවය.
  5. නමුත් ඔබ වෛද්‍ය වරයෙකු වී හදිසි ලෙඩෙකු පැමිණි විට ඔහුට ප්‍රතිකාර කරණ සැටි google කල නොහැකිය, තනිව වාට්ටුවක් බාරව සිටින විට අසා ගන්නට කෙනෙකු නැත.
    • ඔය කියන හදිසි ලෙඩුන් ගැන මා අසා ඇති පරිදී නම් මුලින්ම කෙරෙනුයේ රෝගියාගේ හදිසි තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය මූලික ප්‍රතිකාර, එසේත් නැතිනම් ප්‍රථමාධාර ලබාදීමය. මෙය සාමාන්‍යයෙන් එදිනෙදා ගෙදර දොරේදී ලබාදෙන ප්‍රථමාධාර වලින් එහා ගිය වෛද්‍ය ප්‍රථමාධාර වේ. එම ප්‍රථමාධාර වල මූලික අරමුණ වනුයේ රෝගියාගේ ජීවිතය බේරාගැනීම, තත්ත්වය තවදුරටත් භයානක වීම වැලැක්වීම සහ සුවවීම ඉක්මන් කරවීමයි. මෙහිදී බොහෝ විට සිදුවනුයේ රෝගියාගෙ සෞඛ්‍ය තත්ත්වය හා සම්බන්ධ තීරණාත්මක දර්ශක (vital indicators) ඒවායේ සාමාන්‍ය අගයන් වල පවතීද යන්න පරීක්ෂා කිරීමත්, එසේ නොවන්නේ නම් ඒවා එම සාමාන්‍ය අගයන් කරා පාලනය කිරීමත්ය. උදාහරණ වශයෙන් හෘත් ස්ඵන්දන වේගය හා රිද්මය, රුධිර පීඩනය, ශ්වසන මාර්ගය සහ ශ්වසනය යනාදිය සලකා බැලිය හැක. රෝග නිශ්චය පටන් ගනුයේ මින් අනතුරුවය. එයද, ඔය කියන සීමාවාසික වෛද්‍යවරුන් අතින් සිදුවන්නක් නොවේ. බොහෝවිට එය රෝහලේ වාට්ටු වල සිටින උපදේශක වෛද්‍ය නිලධාරීන් හෝ ලේඛකාධිකාරීවරුන් හෝ අතිනි. ඒ තැනට එන්නට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ සීමාවාසික පුහුණුව පමණක් සෑහෙන්නේ නැති බව නොකිවමනාය. මේ කියන්නේ ඉහතින් සඳහන් කල මූලික ප්‍රතිකාර වල බර හෑල්ලු කරන්නට නොවේ. එම ප්‍රතිකාර වල අරමුණ මා මුලින්ම සඳහන් කළේ එම නිසාය. නමුත් වෙදකමේ මුළු වපසරියට සාපේක්ෂව එය ඉතා කුඩා ප්‍රතිශතයක් බව අප පිළිගතයුතුමය. ඒ ටිකත් ලේසි නැත. කොහෙත්ම ලේසි නැත. මේ කියන්නේ ඒවා ලේසිය කියා නොවේ. නමුත් එම වැඩ ප්‍රමාණය ඔය දඟලන තරම් ලොකුත් නැති බවත් කිවයුතුමය.  රජයේ විශ්වවිද්‍යාල වලින් සමත්ව සීමාවාසික පුහුණුව අවසන් කරන තැන දක්වා, වෛද්‍යවරුන් දින 2190ක පුහුණුවක් ලබන්නේ ඔය කියන මූලික වැඩකොටස හරිහැටි නිවැරදිව ඉටුකරන්නටය. නැතිව පොල් ගෑමට නොවේ. දින 2190ක් යනු මේ රටේ තෘතීයික අධ්‍යාපනය නිම කිරීම සඳහා හිමිවන වැඩිම පුහුණු කාලය වන අතර, එය හිමවනුයේ වෛද්‍යවරුන්ට බවද නොරහසකි. පිරුණු කලේ දිය සැලෙන්නේ නැත. ඔය සද්දය එන කලගෙඩි වල හිස්බවට සද්දය සාක්ෂි දරයි.
  6. ඔබට field එකෙන් ඉගන ගන්නා තුරු හමුවන රෝගීන් මිය යනු ඇත.
    • විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන මුළු කාලය පුරාම මළසිරුරු කපා බලමින්, තුන්වන අධ්‍යයන වසරේ සිට වාට්ටු ගණනේම දවස ගෙවමින්, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ අසමින් බලමින්, සීමාවාසික පුහුණුව තුලදී උපදේශක වෛද්‍යවරයෙකු යටතේ ඔහුගේ/ඇයගේ අනුදැනුම මත රෝග නිශ්චය කරමින් බැනුම් අසමින් කරන්නේ ක්ෂේත්‍ර පුහුණුවක් (field training) නොවේ නම් වෙන කුමක්ද? මේ "වෙන්ඩ දොස්තර" මහතා එය කුමන නමකින් හඳුන්වන්නේ දැයි මම නොදනිමි. සාමාන්‍යයෙන් නම් එය හඳුන්වන්නේ ක්ෂේත්‍ර පුහුණුවක් ලෙසිනි. උපාධි අපේක්ෂක කාලයේ සිටම field එකේ තබා ඇත්තේ "ගොඩ ඉඳන් පීනන්නට බැරි" නිසා මිස වෙන කවරක්වත් නිසා නොවේ. කතාවේ සාරාංශය නම්, වෛද්‍ය විෂය පථයේ සංකීර්ණත්වයට සාපේක්ෂව ඉහල පුහුණුවක් වැඩි කාලයක් තුල ලබා දේ. එයට සාපේක්ෂව බලන කල තොරතුරු තාක්ෂණ විෂයෙහි සිටින අයට ලැබෙන ක්ෂේත්‍ර පුහුණුව ඉතාම අවම මට්ටමක පවතී. Senior Engineer ලාගෙන් බැනුම් අසමින්, රෑ නිදිමරාගෙන පොත පත කියවමින් දැනුම අලුත් කරගන්නට අපට සිදුව ඇත්තේ ඒ නිසාය.
    • එමෙන්ම මාගේ මතකය දිව යන තවත් කතාවක් නම් මා ඉහතින් සඳහන් කල Therac-25 සම්බන්ධ සිද්ධියයි. එම සිද්ධිය සංක්ෂිප්තව සටහන් කළහොත්, මෙම උපකරණය රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ලබාදීම සඳහා යොදා ගැනුණු උපකරණයකි. නමුත් 1985-87 කාල පරිච්ඡේදය තුලදී, මෙයින් ප්‍රතිකාර ලද රෝගීන් අවම වශයෙන් 6 දෙනෙකුවත් විකිරණශීලී පිළිස්සුම් වලට භාජනය වී තිබිණි. වාර්තා වලට අනුව එයින් තිදෙනෙකු මෙම පිළිස්සුම් තුවාල වල බරපතලකම නිසා මරණයට පත්වී තිබුණි. එම උපකරණයේ දෝෂයට හේතුව වී තිබුණේ, එම උපකරණය ධාවනය වන මෘදුකාංගයේ තිබු එක් ඉලක්කමක වරදකි. එය මාරාන්තික වීමට බලපා තිබුණේ, එම මෘදුකාංගය ලියු ඉංජිනේරුවන්ගේ මාන්නාධික අධි තක්සේරුව සහ භාවිත කල අය විසින් දැනුම් දී තිබුණු ගැටළු වලට අවධානය යොමු නොකිරීමය. මේ එක් සිද්ධියක් පමණි. තොරතුරු තාක්ෂණයේ දියුණුව සහ එහි ව්‍යාප්ත වපසරිය ගැන සලකා බලන කල වෛද්‍ය, ඉංජිනේරු, තාක්ෂණ, කාර්මික, යාන්ත්‍රික, ගගන සහ අභ්‍යවකාශ, නාවික සහ සමුද්‍රීය, කෘෂිකාර්මික යනාදී මෙකී නොකී සියලු ක්ෂේත්‍රවල කටයුතු හා ඍජුව සම්බන්ධව ඇති ක්ෂේත්‍රයකි. එම බද්ධ වීම කෙතරම්ද යත් මේ වන විටත් එම ක්ෂේත්‍ර බොහෝ විට තොරතුරු තාක්ෂණය මත යැපෙන තත්වයට පත් වී තිබේ. කිසියම් මෘදුකාංගයක් නිෂ්පාදනය කිරීමට ව්‍යාපෘතියක් ආරම්භ වූ මොහොතේ සිට එය හා සම්බන්ධ "වසම පිළිබඳ දැනුම (domain knowledge)" ලබාගැනීමට මෘදුකාංග ඉංජිනේරුවන් දරන වෙහෙස ගැන දන්නේ මෘදුකාංග ඉංජිනේරුවන්ම පමණි. අපට ඒවා ගැන පම්පෝරි ගසන්නට වෙලාවක් නැත. ලබාදෙන කර්තව්‍යය හරිහැටි නිමවා තැබීම, එය වැරදුනු පසු, ඒ වැරදීම නිසා පටි රෝල් වුණු පසු හේතු පාඨ කියමින් බෝල පාස් කිරීමට වඩා පහසු බව මෘදුකාංග ඉංජිනේරුවන් වන අපි තරයේ විශ්වාස කරමු.
  7. එකිනෙකට වෙනස් රෝග දහස් ගණනක් හා ප්‍රතිකාර මතක තබා ගැනීමට ඉහල මතක ශක්තියක් අවශ්‍ය බව අමුතුවෙන් කිවයුතු නොවේ.
    • රෝග "දහස් ගණනක්"? සහ "ඒවාට ප්‍රතිකාර"? එසේනම් සියලු පුස්තකාල වලින් සියලු දත්ත ගබඩා වලින් රෝග පිළිබඳ සියලු කරුණු ඉවත් කරන ලෙස මම යෝජනා කරමි. මන්ද, මේ කියන තරම් මතක ශක්තියක් වෛද්‍යවරුන්ට තිබේ නම් පුස්තකාල වල පොත්වලට ඉඩ, නඩත්තු වියදම් සහ වෙහෙස මහන්සිය, පරිගණක දත්ත ගබඩාවල ඉඩකඩ යනාදිය මෙතුවක් කල් අපි නිරපරාදේ නාස්ති කොට ඇත්තෙමු.
    • මා දන්නා පරිදී නම් මිනිස් මොළය කරුණු ගබඩා කර ගනුයේ කොටස් වශයෙන් මොළයේ බාහිකයේ විවිධ ස්ථාන වලය. එහි ගබඩාවට සීමාවක් ඇත. කිසිදු පුද්ගලයෙකු සඳහා එය අනන්ත වශයෙන් නොපවතී. එසේනම් මේ කියන පරිදි රෝග දහස් ගණනක් සහ ඒවාට ප්‍රතිකාර කටපාඩමින් මතක තබාගන්නේය යන කතාව පිළිගැනීමට තරමක් අපහසු බව නොකිවමනාය. විභාගයකට කටපාඩම් කිරීම වෙනම කරුණකි. නමුත් ඒ කටපාඩම් කරන දෙයින් විභාගයෙන් අනතුරුව අපගේ මතකයේ රැඳෙන්නේ එම කරුණු වල අඩංගු "මුඛ්‍ය වචන (keywords)" සහ එම සංකල්ප පිළිබඳ සවිස්තර කරුණු ඇතුලත් "මූලය (resource)" පිළිබඳ මතක මාත්‍රයක් පමණි. ඒවා මගින් අවශ්‍ය වූ විටෙක අපට අවශ්‍ය කරුණු "උපුටා ගත (extract)" හැකිය. අප පොතපත නිතර කියවන්නේ, විටින් විට ඒවා අන් අයට කියා දෙන්නේ එමගින් මතකය "අළුත්වන (refresh)" වන නිසාය. පුද්ගලයාගෙන් පුද්ගලයාට මතක ශක්තිය වෙනස් වන බව මම අවිවාදයෙන් යුතුව පිළිගනිමි. එසේම, පුද්ගලයාගෙන් පුද්ගලයාට මතක තබා ගත හැකි විෂය ක්ෂේත්‍රයන්ද වෙනස් වන බව නොකිවමනාය. හෘදය වස්තුවේ අඩංගු කපාට, කර්ණිකා, කෝෂිකා ආදී සියළුම කෑලි බෑලි ටික කටපාඩමින් කීමට හැකියාව වෛද්‍යවරයෙකුට ඇතුවා සේම, පාර අයිනේ ගරාජයක වාහන හදන බාසුන්නැහේ කෙනෙකුට, වාහනයක් වාහනයක් ගණනේ ඇති විවිධ එන්ජින් වල සියළුම කොටස් කටපාඩමෙන් කීමේ හැකියාව ඇත. එහි කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, අදාළ පුද්ගලයින් හා ඔබව මුණගැස්වීමට මා සූදානම්ය. ඔය කියා ඇති මතක ශක්තිය ගැන කතාව නොම්මර එකේ ගොන් කතාවක් වන්නේ ඒ නිසාය. 
  8. සමහරුන් සිතා සිටින්නේ වෛද්‍ය විද්‍යාලයක් යනු ලෙඩය සහ බෙහෙත කියා දෙන ආයතනයක් බවයි.
    • මේ කතාව නම් මට කිසිසේත්ම අදාළ නැත. වෘත්තීයෙන් හෙද නිලධාරිනියක් වූ මාගේ මවගේ වෘත්තීය ජීවිතය හා මම බොහෝ සමීපව සිටියෙමි. ඇයට රාත්‍රී වැඩ මුර ලැබුණු විට ඇය මා හා මාගේ සහෝදරයාව ඇය හා රැගෙන ගොස් අප දෙදෙනාව ඇය රාජකාරි කල ලේ බැංකුවේ තිබු බංකු දෙකක නිදිකරවා පසුවදා අපව පාසල් යැවුවාය. ඒ අතර ඇය තම රාජකාරියද අකුරටම ඉටුකලාය. ඇය මෙන්ම, ඇය හා කුළුපග වෛද්‍යවරුන් හා වෛද්‍යවරියන් දරණා නිමක් නැති වෙහෙස මම දැක ඇත්තෙමි. වෛද්‍ය විද්‍යාලයට තේරුණු මාගේ මිතුරන් කා ඇති කටු මම දැක ඇත්තෙමි. ඒ නිසා මේ ගැන තව දුරටත් කතා කිරීම අනවශ්‍ය බව මාගේ හැඟීමයි.
  9. වෛද්‍යවරු දන්නේ පෙනඩෝල් විටමින් පෙරිටන් වැනි බෙහෙත් කීපයක් පමණක් බවයි.
    • එහෙම වන වෛද්‍යවරුන් ඇත. ඔවුන් නිකන්ම නිකං දොස්තරලාය. ඔවුන්ට විලිලැජ්ජාවක් නැත. රටේ දුප්පතාගේ බදු මුදලින් පිනට ඉගෙන ගෙන, අනෙකුත් වෘත්තිකයන්ටද ගරහමින් උදේ හවා චැනල් සෙන්ටර් ගණනේ රිංගන්නේ එවන් නිර්ලජ්ජිත දොස්තරලාය. චැනල් කලාට කම් නැත. තමුන්ට උගන්වන්නට වියපැහැදම් කල අප්පුහාමි සීයාට, කරුණේ මාමාට, සීලවතී නැන්දාට බේත් ටික හරියට දෙන, ඒ මිනිසුන්ගේ හිත හදන දේවකාරිය හරිහැටි කළායින් අනතුරුව ඕනෑ මගුලක් කරගත්තාට කාටවත් කම් නැත. එහෙම නොවන වෛද්‍යවරුන්ද ඕනෑ තරම් ඇත. මා මේ ලිපියේ මුල සිට අග දක්වාම "ජීවකයන්" යනුවෙන් ආමන්ත්‍රණය කර ඇත්තේ තමුන් රටට දැයට ගෙවා නිම කල නොහැකි තරම් ණය බව දන්නා, පොඩි මිනිහාගේ දුක හඳුනන, තම උපාධිය අංතට්ටුවක් කර නොගෙන එයින් සමස්ත මනුෂ්‍ය වර්ගයාටම තම යුතුකම හා වගකීම මැනවින් ඉටු කරන, එබඳු මිනිසුන්ට ය. 
  10. ඔබ හැමදාම සෙම්ප්‍රතිෂාව හා උණට බෙහෙත් ගන්නට ගොස් විවිද බෙහෙත් අපේක්ෂා කිරීම විහිළුවක් නොවේද?
    • මේක නම් සහතික ඇත්තය. අපේ රටේ මෙහෙමත් මෝඩයන් සිටිනා බව මටද අනේක වාරයක් පසක් වී ඇත. ඩුබායි හි සමාජ ශාලාවක කැබරේ නළඟනක් පාර්ලිමේන්තු යැවූ රටක, මෙවන් දෑ අතිශය සාමාන්‍ය බව මාගේ අදහසයි.
පහතින් සඳහන් ඒවාද එම ලිපියෙන්ම උපුටාගන්නට යෙදුනු ඒවාය.

අනික මම දැකල තියන විශේෂඥ වෛද්‍ය වරු සියල්ලම වගේකෙනෙක් channel කරල ආවම කියන්නේ මගේ රජයේ රෝහලේ වාට්ටුවේ ඇතුල් වෙන්න කියල මිසක් එම පුද්ගලික රෝහලේ ඇතුල්වෙන්න කියල නෙමේ.එහෙම කියන අය ඇති නමුත් මම නම් දැකල නැහැ!
එතකොට බේත්?රෙපෝට් පිටින් ගන්න එකමම නම් දැකල නැහැ වෛද්‍යවරු වෙළද නාමය ලියල බේත් දෙනවා! එහෙම කලොත් ඔබට උනත් පැමිණිලි කරන්න පුළුවන්.

මෙහි රසවත්ම කොටස "මමනම් දැකල නෑ!" යන්නය. ඔහු දැක නොතිබුණාට මේවා දකින මිනිසුන් ඕනෑ තරම් ඇත. ඒවා කරලියට නොඑන්නේ ඒ සඳහා සුදුසු වේදිකාවක් අප රටේ නැති නිසාය. එසේ ආ දිනකට ඔය රජයේ විශ්වවිද්‍යාලවල උපධිධාරී වෛද්‍යවරුන් කියාගන්නා සමහරු රහසින් කෙළින බුල් සියල්ල හෙළිවනු ඇත. ඔය කියන ජාතියේ වෛද්‍යවරුන් මම දැක ඇත්තෙමි. කලින් කීවාක් මෙන් "ජීවකයන්" යයි මම ආමන්ත්‍රණය කළේ එබඳු මිනිස් වෙස් ගත් දේවතාවුන් සහ දේවතාවියන්ටය. වැරදි දුටුකල පැමිණිලි කරන්නට පුළුවන් බව අපි බොහෝ දෙනෙක් දනිමු. එමෙන්ම හොරාගේ අම්මාගෙන් පේන අසා වැඩක් නැති බවද අපි දනිමු.
ඔබ බ්‍රිතාන්‍ය පරිගණක සංගමය (British Computer Society) ගැන අසා ඇතැයි මම සිතමි. එය බ්‍රිතාන්‍යයේ පරිගණක වෘත්තීයවේදීන් සඳහා රාජකීය වරලත් සංගමය ලෙස බ්‍රිතාන්‍ය කිරීටයෙන් රාජකීය සන්නස්පත්‍රය ලබා ඇත. එහි සියළුම සාමාජිකයින් පිළිපැදිය යුතු, ආචාර ධර්ම පද්ධතිය තුල ඇති 4 වන කොටසේ (d) වගන්තිය,

act with integrity and respect in your professional relationships with all members of BCS and with members of other professions with whom you work in a professional capacity. 

ලෙස සඳහන් වේ. මින් කියවෙන්නේ තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් වන අප අපගේ වෘත්තිය සහ ඉන් පරිබාහිර සියළුම වෘත්තීන්ට අයත්, අප හා සමග වෘත්තීය මට්ටමෙන් කටයුතු කරන සාමාජිකයන් සමග අවංක භාවයෙන් සහ නිසි ගෞරවයෙන් යුතුව කටයුතු කල යුතුය. තමුන් නොදන්නා දෙයක් ගැන "අයියෝ එක Google කරන්න පුළුවන්, අයියෝ ඒක field එකෙන් ඉගෙන ගන්න පුළුවන්" යනාදී වශයෙන් කටමැත දෙඩවීම, නිසි ගෞරවය ලබාදීමක් වන්නේ කෙසේදැයි මට වැටහෙන්නේ නැත. සමහර විට එය මාගේ පුංචි මොළයට වැටහෙන්නේ නැති තරම් විශාල කාරණාවක් විය හැක. BCS ආචාර ධර්ම පද්ධතිය වෛද්‍යවරුන්ට අදාළ නැත. කතාව ඇත්තය. නමුත් එවන් ආචාර ධර්මතාවක් වෛද්‍යවරුන් සඳහා නොමැත්තේ නම්, ඔවුන්ට එවැන්නක් අත්‍යාවශ්‍ය බව ඉතා පැහැදිලිය.        
හැබැයි මාගේ මොළයට මෙන්න මේ කාරණා දෙක නම් හරි හැටි වැටහේ. එනම් "ඔබ වෘත්තීයවේදියෙකු ලෙස ඔබව හඳුන්වාගන්නේ නම්, ඔබගේ වෘත්තීයයට අදාළ වෘත්තීයමය වගකීම හා වගවීම (professional responsibility and accountability) ඔබ සතුව තිබිය යුතුය. එය නොමැති නම් ඔබගේ විෂය ක්ෂේත්‍රය කුමක් වුවත් ඔබ වෘත්තීයවේදියෙකු නොවේ!" සහ දෙවනුව "ඔබේ වෘත්තීය කුමක් වුවත් ඔබ ඔබගේ වෘත්තීයමය වගකීම පැහැරහැරියහොත් එහි ප්‍රතිඵලය අතිශය දරුණු විය හැක." සරල බසින් කිවහොත් ඕනෑම වෘත්තීන් දෙකක් ගත් කල එයින් සමාජයට වන බලපෑම එක හා සමානය. එකක් අනෙක් ඒවාට වඩා ලොකු යයි පාරම්බෑම නොම්මර එකේ ගොන් තකතීරු වැඩකි.
අවසන් වශයෙන් මම පාර්ශව දෙකක් වෙත පණිවුඩ දෙකක් නිකුත් කරනු කැමැත්තෙමි. පළමුවැන්න, මේ ලිපිය ලිවීමට වස්තුබීජය සැපයූ ඉහත ලිපියේ කතුවරයාට සහ ඒ මාදිලියේ චින්තන ධාරාවක ගමන් කරන සියලු දෙනාටය. එනම් "තමුන් නොදන්නා විෂය පථයන් ගැන ලොකුවට කතා කර ඒවායේ බර හෑල්ලු කරන්නට දරන නිර්ලජ්ජිත උත්සාහයෙන් ප්‍රකට වන්නේ ඔබ ඔබගේ විෂය පථය සඳහාද නොගැලපෙන්නෙකු බවය. තමුන් දන්නා ටික ගැන පම්පෝරි ගසා අනුන්ව පහතට දමන්නේ මෝඩයන් බව මතක තබා ගැනීම නුවණට හුරුය."
දෙවැන්න, මහපාරේ විප්ලව කරමින් යකා නටන "අන්තරේ උත්තමයන්ට"ය. රූස්ස ගසක් පෙරළන්නට වුවමනා නම් කල යුත්තේ ඒ ගස මුල හිඳ හෝ ගසට නැග හෝ බෙරිහන් දෙමින්, ගසේ කඳට අතින් පයින් පහර දෙමින් කාලය නාස්ති කිරීම නොව, ගසේ මුල පාදාගෙන එය මුලින් පෙරළා දැමීමය. මාගේ අදහස නම් පොලිසියේ රබර් උණ්ඩ හා කඳුළු ගෑස් එක්ක හැප්පී, මාධ්‍ය ඉදිරියේ පපුවට දෑතින් ගසාගෙන බෙරිහන් දී, මෝඩ ආතල් දෙනවාට වඩා, හොඳින් දැන උගෙන, කරුණු කාරණා යථා පරිදී අවබෝධ කරගෙන, තීරණ ගන්නා සහ පාලනයේ නිරත වෙන මුල් පුටුවලට තේරී පත් වී, එතැන් සිට මුල නිවැරදි කිරීම වඩා ප්‍රතිඵලදායක බවය. දැන් මුල්පුටු වල ඉන්නා එවුන් ගන්නා තීරණ වැරදි නම්, ඒ බව තමුන් දන්නේ නම්, කළයුත්තේ එය නිවැරදි කිරීම මිස "විප්ලව කිරීම" නොවේ. මේ ගැන වැඩිදුර විග්‍රහයකින් නැවත හමුවෙමු.

ප.ලි.: කෙනෙකුගේ ප්‍රකාශිත අදහස් මගින් ප්‍රකට වනුයේ ඔහුගේ/ඇයගේ ආකල්ප බව අපි සියලු දෙනාම පිළිගනිමු. එසේනම්, තෙවන වසරේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයෙකුගේ අදහස් වන ඉහතින් උපුටාගත් දෑ ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? කොමෙන්ටුවක් දැමීමට කාරුණික වන්න. මට නම් සිතෙන්නේ ඔහුගේ තෙවන වසර දක්වා දැනුම සහ කුසලතා දියුණු වී තිබුණත් (එය ටක්කෙටම කීමට තරම් සාධක සාක්ෂි නැති නිසා ඒ ගැන මම කිසිවක් ප්‍රකාශ නොකරමි) තෙවන වසරේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයෙකු වශයෙන් ඔහු තුල තිබියයුතු ආකල්පමය ගුණාත්මක බව ගැන මටනම් ඇත්තේ බරපතල ප්‍රශ්නයකි.

No comments:

Post a Comment