Subtitle

මමතුමාට හිතෙන පිස්සු මමතුමාගේ වචන වලින් මමතුමාම ලියන මමතුමාගේ වැයික්කිය...! ඇයි අවුල්ද?? :D

Sunday, March 2, 2014

අන්ටයිටල්ඩ් - දැන උගත් වැඩිහිටියන්ට පමණයි!!!!

මෙතැන් සිට ලියැවෙන වචන මේ අයුරින් ගොනු කරන්නට සිතුනේ මන්දැයි මම අවංකවම නොදනිමි. එහෙත්කර්ම චිත්‍රපටය නැරඹූවෙක් වශයෙන්එම චිත්‍රපටය පෝර්න් මූවී එකක් නැතහොත් නිල් චිත්‍රපටයක් ලෙස වර්ගීකරණය කරන්නට ඇතමෙකු දරන තුප්පහිනින්දාසහගත වෑයම පිළිබඳව මට හිතෙන හැටි නොලියාම බැරි නිසා මෙය ලියන බවනම් කිවයුතුමය.
මෙය තවත් එක මූවී රිවීව් එකක්ම නොවේ. කර්ම චිත්‍රපටයේ ගුණ වනාඑහි සුදුහුණු ගෑමට මට කිසිදු අවශ්‍යතාවක් නොමැත. ඒ සඳහා මට කිසිදු ගෙවීමක්ද නොලැබේ. ඒ හැරත්මා වැනි නිකමෙකු එහි සුදුහුණු ගාන්නට තැත් කිරීම හුදෙක් පුස්සක්ම වේ. කවර හෙයින්ද යත්කර්ම යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කැඩපතක් බඳු නිර්මාණයක් හෙයිනි. ඔබ ඔබගේ නුවණ නමැති ඇස හොඳහැටි විවර කරගෙන ගොස් කර්ම නැරඹූ විට එතුළින් සමාජයේ අඳුරුනින්දාසහගත යථාර්ථය මනා ලෙස දකින්නට හඟින්නට ලැබෙනු ඇත. නමුත් එක් වැදගත් කරුණක් නම්මෙය නරඹන්නට යාමට පෙර ඔබේ නුවණැසට ඉදිරියෙන් ඔබ පැළඳ සිටින නිල් චිත්‍රපට නම් උපැස් යුවළ ගලවා තබා යා යුතුමය. එසේ නොවුනහොත් කර්ම ඔබට කරුමයක් වනු නොඅනුමානය. මා එසේ කියන්නට හේතුව වනුයේ කර්ම යනු ජිග්සෝ ප්‍රහේලිකාවක් වැනි චිත්‍රපටයක් බැවිනි. සමස්ත චිත්‍රපටය පුරාම එහි කැබලි විසිරී ඇත. ඔබ චිත්‍රපටය නරඹන අතරතුර එහි ඇති නිරුවත් ස්ත්‍රී පියයුරු පෙන්වන දර්ශන බලා සතුටු වීමෙහි කාර්යබහුල වුවහොත්ඔබට එහි කියැවෙන සමාජ යථාර්ථය පිළිබඳ වෘත්තාන්තය වටහා ගැනීමට නොහැකිවනු ඒකාන්තය. මන්දයත් කථාන්තරය ගොඩනැගීමට අවශ්‍ය ප්‍රහේලිකා කැබලිවලින් ඔබ ග්‍රහණය කරගෙන ඇත්තේ කිසිදු වැදගත් කමක් නැති කැබලි කිහිපය පමණක් වීමයි. නොවැදගත් දේ වලින් සිදුකළහැකි කිසිවක් නොමැත. සරලවම කිවහොත් "කුකුළ් බෙටි වලින් චිකන් සුප් හැදිය නොහැක." කර්ම චිත්‍රපටයේ ඇති සුන්දරත්වය නම් එයයි. කර්ම චිත්‍රපටය "දැන උගත් වැඩිහිටියන් සඳහාම පමණක්" නැරඹිය හැක්කක් වීමට හේතුව එයයි.
දැන් කර්ම ගැන රෙකමදාරුව මදකට පසෙකින් තබා මගේ හිතේ තියෙන දේ දිහාවට හැරෙමු. මුලින්ම මෙය කියවන ඉ-පාඨක ඔබෙන් සරල පැනයක් අසන්නෙමි. "මිනිසුන් පෝර්න් මූවීස්එසේත් නැතිනම් නිල් චිත්‍රපට බලනුයේ කුමන අරමුණකින්ද?" යනු එම පැනයයි. දැන් ඔබේ සිතේ විවිධාකාර පිළිතුරු රාශියක් ගොඩනැගෙමින් පවතින බැව් මම දනිමි. එමෙන්ම සමහරු "මේ යකා මොන රෙද්දක් අහනවද මන්දා.." යනුවෙන් සිතමින් සිටිනවා වීමටද හැක. කෙසේ හෝ වේවාමට හිතෙන හැටියටනම් කෙනෙකු නිල් චිත්‍රපටයක් නැරඹීමෙන් බලාපොරොත්තු වනුයේ සිතෙහි කාමුක, එසේත් නැතිනම් රාගික හැඟීම් පුබුදුවා ගැනීමය. තේරෙන බාසාවෙන් කිවහොත්ෆෝම් කරගැනීමටය. ඒ හැරුණු කොට එහි අන්තර්ගත වෘත්තාන්තය කවරේදඑහි නළු නිළියන් කවරහුද (අද කාලේ අපි වැනි කොළු කුරුට්ටන් සඳහානම් මේ දෙවැනි කරුණ ඒ හැටිම සත්‍ය නොවේ. මන්ද බොහෝ අයට අමෙරිකානු නිල් චිත්‍රපට තාරකාවන්ගේ නම් ලැයිස්තු පිටින් කටපාඩම් නිසාය.)එහි අවසානය කෙබඳුද යන මෙකී නොකී ප්‍රශ්න කිසිවක් ඔහුට හෝ ඇයට අදාල නොවේ. වැදගත් වන එකම කරුණ නම් "ඒක කොච්චර ත්‍රිල්ද?" යන්න පමණකි. එබැවින් කිසියම් චිත්‍රපටයක් "නිල් චිත්‍රපටයක්" ලෙස වර්ගීකරණය කිරීමට පළමුඑම චිත්‍රපටය නැරඹීමෙන් ප්‍රේක්ෂකයා තුල ජනනය වන සිතුවිලි කවරාකාර වේදැයි සලකා බැලීම අත්‍යාවශ්‍යයෙන්ම සිදුකළයුතු බව අපට අවිවාදයෙන් පිළිගැනීමට සිදුවේ. "වැඩිහිටියන්ට පමණයි" යන ලේබලය රැගත් සෑම චිත්‍රපටයක්ම නිල් චිත්‍රපටයක් නොවනුයේ එබැවිනි. සිංහලෙන් "වැඩිහිටියන්ට පමණයි" යන්න "Explicit Content" යන ඉංග්‍රීසි යෙදුම වෙනුවට භාවිතා කරන්නකි. "Explicit Content" එසේත් නැතිනම් විවෘත අන්තර්ගතයන්" යන කුලකයට අයත් වන එකම අවයවය ගැහැනියක හා පිරිමියෙකු නිරුවතින් ආලිංගනයෙහි හෝ සංසර්ගයෙහි යෙදෙන දර්ශන පමණක්ම නොවේ.
දැන් මම ඔබෙන් තවත් ප්‍රශ්නයක් අසමි. එනම් "කර්ම නරඹද්දී ඔබට එවැනි කාමුක හැඟීම් පහළවීද?" නැවතත් තේරෙන බාසාවට මාරු වුවහොත් "ඔබට කර්ම නරඹද්දී ෆෝම් වුනාද?" යන්න එම ප්‍රශ්නයයි! මා මෙම ප්‍රශ්නය කිසිවෙකුගෙන් ඇසූ විට ඒ පුද්ගලයා "ඔව්" යනුවෙන් පිළිතුරු දුනහොත් ඔහුව හෝ ඇයව එල්ලා මැරිය යුතුය. කවර හෙයින්ද යත්මවක් තම දරුවාට කිරි දෙන අයුරු නරඹා හෝපිළිකාවක් වැළඳුනු එක පියයුරක් ඉවත් කර ඇති තරුණියකගේ නිරුවත් උඩුකය නරඹා තම සිතෙහි ආශක්ත හැඟීම් ජනිත කරගන්නටනම් එම පුද්ගලයා අනිවාර්යයෙන්ම මානසික රෝගියෙකු වියයුතු නිසාය. ඔබ "Serial Killers" නොහොත් මාලා ඝාතකයින් ගැන අසා ඇතැයි සිතමි. අමෙරිකාවේ ජීවත් වූ හෙන්රි ලී ලූකස් යනු එවැන්නෙකි. ඔහුගේ වචනවලින්ම ඔහු වරක් පැවසූ පරිදී "ලිංගිකත්වය මගේ හීනයක්. මිනිසුන් සමග පමණක් නොවෙයි මම සතුන් සමග පවා ලිංගිකව හැසිරී ඔවුන් මරා දැමුවා." මෙම ප්‍රකාශයෙන් ඔහුගේ මානසික මට්ටම කවරාකාරදැයි වටහාගැනීම ඔබටම භාර කරමි. ඉතින් කර්ම චිත්‍රපටයේ අඩංගුගණනින් තුනකට පමණක් සීමාවූ එවන් දර්ශන නරඹා කාමුක හැඟීම් ජනිත කරවා ගැනීම පමණක් නොවඑවන් දර්ශන ඇතැයි කියා කර්ම චිත්‍රපටයට නිල් චිත්‍රපට ලේබලය ඇලවීමට උත්සාහ කරන්නන්ද උන්මත්තකමානසික හීනෝන්මාද තත්වයට පත් වූවන් ලෙස සැලකීමේ වරදක් නැත. කොටින්ම ඔවුන්ද ලී ලූකස් වැන්නන් යැයි කීමද සාධාරණය. කවර හෙයින්ද යත් ඔවුන්ගේ මානසික හීනෝන්මාදී තත්වය නිසා ඔවුන් කර්ම චිත්‍රපටයේ චරිතයදඒ හරහා ප්‍රසන්න ජයකොඩිගේ චරිතයද ඝාතනය කරන බැවිනි. එකම වෙනස නම් මෙහිදී මනුෂ්‍ය ඝාතනය වෙනුවට සිදුකරනුයේ චරිත ඝාතනය පමණක් වීමයි.
මෙහිදී මා "කර්ම යනු පවුලේ චිත්‍රපටයක්" ලෙසින් විග්‍රහ කරන බවට කිසිවෙකු විසින් වැරදි වැටහීමක් ඇති කර නොගත යුතුය. මන්ද යත්කර්ම යනු වැඩිහිටියන්ට පමණක් නැරඹිය හැකි චිත්‍රපටයක් බැවිනි. එහි අන්තර්ගතය වටහා ගැනීමට සහ චිත්‍රපටය තුල දසත විසිරී ගිය කැබලි ඒකරාශී කොට එහි සැබෑ වෘත්තාන්තය වටහා ගැනීමට අචලතියුණුපැහැදිලි බුද්ධියක් තිබීම අනිවාර්ය වේ. එම කාරණය නිසා මෙය ළමයින්ට පමණක් නොවවත්මන් සමාජයේ සාතිශය බහුතරයක් වන නොමේරූ වැඩිහිටියන්ටද සුදුසු නොවේ. ප්‍රසන්න ජයකොඩිගේ මෙම අද්විතීය නිර්මාණය නිල් චිත්‍රපටයකැයි හංවඩු ගැසෙන්නට හේතුව තමුන් වැඩිහිටියන් යයි කියාගන්නා එවන් නොමේරූ අබුද්ධික අඳබාලයන් මෙම චිත්‍රපටය නැරඹීමය. අවසන් වශයෙන්මෙම වැල් බයිලාවට නැවතීමේ තිත තබන්නට පෙරාතුවඑවන් අඳබාල නොමේරූ වැඩිහිටියන්ට අවවාදයක් දෙනු කැමැත්තෙමි. එනම්, "තමන්ගේ හිතට එන සියලුම අදහස් වචන වලට පෙරලා ප්‍රසිද්ධ කිරීම එතරම්ම නුවණට හුරු නොවේ. මන්දයත් කටවහගෙන සිටිනතාක් ඕනෑම මෝඩයෙක් පණ්ඩිතයෙකු සේ පෙනෙන බැවිනි."

No comments:

Post a Comment