Subtitle

මමතුමාට හිතෙන පිස්සු මමතුමාගේ වචන වලින් මමතුමාම ලියන මමතුමාගේ වැයික්කිය...! ඇයි අවුල්ද?? :D

Saturday, March 8, 2014

උපාධිය, රැකියාව හා රැකියා විරහිත උපාධිධාරීත්වය...!

මේ විසිඑක්වන සියවසයි. එයින්ද මේ වන විට වසර දහතුනකුත් කාලක් ගෙවීගොස් අවසානය. කාලය ගතවනවාටද වඩා බොහෝ වේගයෙන් අප වෙසෙන ලෝකය දියුණු වෙමින් පවතී. අද දිනය තුල අප එක් රැස් කරගන්නා දැනුම හෙට දිනට පහන් වීමටත් මතුයෙන් කල් ඉකුත් වී අවසන්ව තිබේ. එයද ඒක අතකට පුදුමාකාර වැඩකි. මන්ද යත්, මෙතරම් ශීඝ්‍රයෙන් දැනුම හා තාක්ෂණය දියුණු වීම විටෙක අදහාගන්නටත් අමාරු වීමය. කොයිහැටි වෙතත් ලෝකය තත්පරයෙන් තත්පරය අතිශය ශීඝ්‍ර දියුණුවක් ලබමින් සිටියි. කතාවේ බොටම් ලයින් එක එයයි.
වත්මන් ලෝකයේ දියුණුව රඳාපවතින ප්‍රබලතම පදනම නම්, දිනෙන් දින අලුත් වන, දිනෙන් දින සිය වපසරිය වැඩි දියුණු කරගන්නා "දැනුම" යි. ඕනෑම විෂය ක්ෂේත්‍රයකට අදාලව අලුතින් එක්රැස් කරගන්නා දැනුම මගින් එම විෂය ක්ෂේත්‍රය ව්‍යවහාරිකව යොදාගැනීමෙන් ලබාගත හැකි ප්‍රතිඵල වැඩි දියුණු කරමින් පවතී. මෙය සංකීර්ණ, එමෙන්ම සන්තතික ක්‍රියාදාමයකි. එය සන්තතික වන්නාක් පමණක්ම නොව එහි ශීඝ්‍රතාවද ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී. මෙහි ඇති විශේෂත්වය නම් එයයි.
දැනුමට සාපේක්ෂව එහි භාවිතය එසේත් නැතිනම් ව්‍යවහාරය ඉහල යන්නේ නම් එයින් සරලවම ගම්‍යමාන වනුයේ දැනුම වැඩිවීමට සාපේක්ෂව එමගින් ඇතිවන්නා වූ රැකියා අවස්ථා ගණනද ඉහල යන බවයි. සරල උදාහරණයක් ලෙස තොතතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හෝ පරිගණක විද්‍යා ක්ෂේත්‍රය සලකා බලන කල මෙය මොනවට පැහැදිලි වේ. එපමණක් නොව ගගන තාක්ෂණය, මෝටර් යාන්ත්‍රික තාක්ෂණය, නාවික ක්ෂේත්‍රය යනාදී සියල්ල තුලම මෙම ලක්ෂණය ඉතා පැහැදිලිව දැකගත හැකි වේ. මේ අයුරින් උක්ත කරුණ සනාථ වන උදාහරණ රාශියක් විවිධ ක්ෂේත්‍ර ඇසුරින් ගෙන හැර දැක්විය හැක. තාක්ෂණය පිළිබඳ සාකච්ඡාව මෙතනින් මදකට පසෙකින් තබා දැන් රැකියා දෙසට හැරෙමු.
ජීවත් වීමට නම් අවශ්‍ය ප්‍රමාණයට කෑ යුතුය. නැතිනම් සිදුවන්නේ මරණයට පත්වීමය. මරණයෙන් ගැලවීම හෙවත් ජීවත් වීම සඳහා ආහාර අවශ්‍ය වේ. එපමණක් නොව තවත් බොහෝ අවශ්‍යතා සහ වුවමනා රැසක් අපට ඇත. මේ කුමක් වුවත් ඉටු කරගැනීම සඳහා අපට කිසියම් ආකාරයක ඉපයීමක් කල යුතුය. එම ඉපයීම් ඔබට අවශ්‍ය භාණ්ඩ හා සේවා වෙනුවෙන් හුවමාරු කළ හැක. ඔබ උපයන්නා වූ ප්‍රමාණය මත ඔබට විය පැහැදම් කල හැකි ප්‍රමාණය තීරණය වේ. වැඩියෙන් උපයන්නා වැඩියෙන් වියදම් කරයි. අඩුවෙන් උපයන්නා අඩුවෙන් වියදම් කරයි. සරල බසින් කියන්නේ නම්, "වැඩියෙන් උපයන්නා කන අතර අඩුවෙන් උපයන්නා ලෙව කයි". ඉදින්, ඔබේ ඉපයීම් මත ඔබේ පැවැත්ම තීරණය වන නිසා, "අපව රකිනුයේ අප උපයන දේ" යයි කීම සාධාරණ වේ. ඒ නයින් "අප ඉපයීම සඳහා කරන දේ යනු අපේ රැකියාව වේ" ය යන්න අපෝහනය කල හැකිය.
ඉහත ඡේදයේ සඳහන් දේ පිළිබඳව වඩාත් සියුම්ව විමසා බැලුවහොත්, වත්මන් සමාජ සන්දර්භය තුල එය ඒ හැටිම සත්‍ය නොවන බව ඔබට ගම්‍ය වනු ඇත. මන්දයත්, අද කාලයේ රැකියාවකින් බලාපොරොත්තු වනුයේ මූල්‍යමය ආදායම් පමණක්ම නොවේ. වෘත්තීය ගරුත්වය, සමාජයේ පිළිගැනීම, සමාජ ක්‍රමය මත ඇති කල හැකි බලපෑම යනාදී කරුණු කාරණා රාශියක් වත්මන් සමාජය විසින් "රැකියාව" නම් සංකල්පය හා ඈඳා තිබේ. උදර ගින්දර නිවාගැනීම පිණිස අවශ්‍ය බඩගෝස්තරය උපයා ගන්නවාට අමතරව, ඇමති කෙනෙකු මුණගැසීම සඳහා වේලාවක් වෙන්කරගැනීමේ සිට, දඩ කොලයක් ලියන්නට යන පොලිස් රාළහාමි කෙනෙකුගෙන් ගැලවීම දක්වා යන මෙකී නොකී සියලු දෑ ඉෂ්ඨ සිද්ධ කරගැනීමට තම රැකියාව ප්‍රමාණවත් වේද යන්න සියලුම දෙනාට පොදුවේ ඇති ප්‍රශ්නයක් වී ඇත.ඒ සඳහා සමාජය විසින්ම අප වෙත සකසා දී ඇති මිනුම් දඬු කිහිපයකි. ඒවා අතුරෙන් මූලිකම එක නම් මුදල්ය. සමහරෙකුට අනුව, වැඩියෙන් උපයන පුද්ගලයා බලවත් වේ; නොහොත් සල්ලිකාරයා පොරකි. තවත් සමහරෙකුට අනුව එය කිසියම් පුද්ගලයෙකු යටතේ සිටින්නන් ගණනය. තමා යටතේ සේවකයන් වැඩි පිරිසක් සිටීනම් මෙම න්‍යායට අනුව හේ පොරකි. තවත් සමහරෙකුට අනුව එය දේශපාලඥයන්ට ඇති කිට්ටුවන්ත බවයි. මෙම න්‍යායට අනුව සලකා බලන කල දේශපාලඥයෙකුට වැඩියෙන්ම කිට්ටුවන්ත පුද්ගලයා පොරක් වේ. තවත් පිරිසක් සිතන පරිදී එය තම රැකියාව රාජ්‍ය ද, පෞද්ගලික ද යන්න මත තීරණය වේ. එම න්‍යායට අනුව, රාජ්‍ය අංශයේ රැකියාවක් හිමි පුද්ගලයා සාපේක්ෂ වශයෙන් පොරක් වේ.
කවරෙක් කොයි ලෙසකින් මෙය අර්ථ කථනය කරන්නට උත්සාහ ගත්තද, මෙකී සියලු දේ ඔබට උරුමද නැද්ද යන්න තීරණය වනුයේ කාරණා තුනක් මතය. ඒවා නම්,
  1. ඔබට උපතින් ධනය හිමිද?
  2. ඔබ උපතින් ඉගෙනීමෙහි ලැදි ද??
  3. ඔබට උපතින් ව්‍යාපාරික ඥානය හිමිද?
මේවා හැරුණුකොට ඔබේ ඉපයීම් මාර්ගය තීරණය කරන සාධක පවතීනම්, ඒ බොහෝ කලාතුරකිනි. ඒ මට දැනෙන හැටිය. උක්ත කරුණු වලින්, අංක එක හෝ අංක තුන කෙනෙකුට හිමිවන්නේ කලාතුරකිනි. අංක දෙක හිමිවනුයේ ඊටත් කලාතුරකින් බව සැබෑය. නමුත් අපේ රටේ ජීවත් වන බහුතරයක් ජනතාවගේ සිතේ පවතින්නේ මීට හාත්පසින්ම වෙනස් අදහසකි. එනම් "ඉගෙන ගන්නා හැමෝටම රක්සාවක් තිබීම අනිවාර්ය වේ" යන්නයි. අපේ රටේ සාතිශය බහුතරයක් ජනතාව හිතන පරිදී උක්තයෙන් සඳහන් අංක එක හා තුන අදාළ වනුයේ අංක දෙක සහජයෙන් උරුම නොවන්නා වූ පිරිසටය.
දැනුම වැඩිවන විට ඒ හා සාපේක්ෂව රැකියා ප්‍රමාණයද ඉහල යන බව අපි ඉහතින් සාධනය කර ගතිමු. එය ඇත්තය. කවරෙකුට හෝ එය එසේ නොවේ යයි සිතේනම් මේ සමග කොමෙන්ටුවක් කෙටීමේ නිදහස ඔහු හෝ ඇය සතුව ඇත. මෙහි ඇති එකම ගැටලුව නම්, එය එසේ යයි සිතා "ඉතින් මම ඉගෙන ගත්තනම් මට රස්සාවක් තියෙන්නම ඕනේ, එහෙම නැත්තම් එකට වගකියන්න කෙනෙකුත් ඉන්න ඕනේ, මොකද මට උපාධියක් තියෙනවා." සිතීමය.
සත්‍යයකි. ඔබ උපාධියක් ලබාගන්නවා යනු ඔබ රැකියාවක් කිරීමට අවශ්‍ය සුදුසුකමක් සම්පූර්ණ කර ගැනීමකි. නමුත් ඔබට අමතක වූ දෙය නම්, "උපාධියක් යනු රැකියාවක් සඳහා වන සුදුසුකම් වලින් එකක් පමණක්ය" යන්නය. ඔබ ලබාගන්නා උපාධිය යනු රැකියාවට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකමක් පමණක්ම වේ. අධ්‍යාපනික වශයෙන් ඔබේ යෝග්‍යතාවට අමතරව, ඔබට රැකියාවක් ලැබීම තීරණය කෙරෙන්නා වූ සාධක රාශියක් පවතී. ඔබ සතු ප්‍රායෝගික ඥානය, ඔබේ ආකල්ප, ඔබ පිළිබඳව ඔබ විසින් ලබාදෙන ප්‍රතිරූපය යන මෙකී නොකී කරුණු කාරණා රැසක් මත ඔබට කිසියම් රැකියාවක් හිමිවේද නැද්ද යන්න රඳා පවතී.
දැන් අපි වත්මන් ශ්‍රී ලංකාවේ රැකියා පිළිබඳ ගැටලුව දෙසට හැරෙමු. අපේ රටේ මේ වන විට විශ්ව විද්‍යාල උපාධිධාරීන් ඉතා විශාල සංඛ්‍යාවක් සිටිති. විවිධ විෂය ක්ෂේත්‍රයන් ඔස්සේ සිය උපාධි පාඨමාලාවන් නිම කොට, උපාධි සහතික සහ ලෝගු වලට හිමිකම් කිව් ඔවුන්ගෙන් සාතිශය බහුතරයක් මේ මෑතක් වන තුරුම කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට, ලිප්ටන් වටරවුම අසල වැනි උද්ඝෝෂණ ව්‍යාපාර සඳහා නම ගිය ස්ථානවල, වරු ගණන් අව්වේ වේලෙමින් වැස්සට තෙමෙමින් අරගල කළෝය. උච්ඡාරණය කරන්නට උත්සාහ ගත විට හක්ක පනින, දිව උළුක් වන තරම් බරැති වචන වලින් සැදුම් ලත් නම් ඇති සමිති සංගම් පිහිටුවාගෙන යකා නැටූහ. එසේ කල බොහෝ අරගලයන්හිදී ඔවුන්ගේ ප්‍රධානතම සටන් පාඨයක් වූයේ "අපට රැකියා ලබා දීම ආණ්ඩුවේ වගකීමක්!" කියාය. ඔවුන්ට අනුව කෙනෙකු උපාධියක් ලබාගත් පමණින් එම උපාධිධාරියාට/ධාරිණියට රැකියාවක් ලබා දීමට ආණ්ඩුව සැදී පැහැදී සිටිය යුතුය. නමුත් එක්කෝ ඔවුන්ට අමතකව ගිය, නැතිනම් ඔවුන් නොසලකා හරින ලද කාරණය නම් "සමහර පුද්ගලයන් හට සිය උපාධිය හෝ පාඨමාලාව හෝ මොන මල ඉලව්ව හෝ අවසන් කිරීමටත් පළමුකොටම ඉතාම හොඳ මට්ටමේ රැකියාවක් සඳහා දොරගුළු විවර වී තිබීමය."
මා මුලින් කිව්වාක් මෙන් දැනුම හා ඥානය ප්‍රගමනය වන විට ඒ හා සාපේක්ෂව රැකියා ප්‍රතිශතයද ඉහල යයි. නමුත් ගැටලුව පවතින්නේ වත්මන් ලෝකයෙහි අප දන්නා සියලු විෂය ක්ෂේත්‍රයන් සඳහා මෙය එක සේ සත්‍ය නොවීමය. කාර්මික, යාන්ත්‍රික, තාක්ෂණික ආදී කිහිපයක් හැරුනුකොට අනෙකුත් විෂයන් පිළිබඳව දැනුම වැඩිවීමට සාපේක්ෂව රැකියා වෙළඳපොල ප්‍රසාරණය නොවේ. මන්ද රැකියා වෙළඳපොළෙහි තත්වය තීරණය වන්නේ කිසියම් නිලයක් හෝ තනතුරක් සඳහා පවතින්නා වූ අවශ්‍යතාව නැතහොත් ඉල්ලුම මත වීමය. උදාහරණයක් ලෙස ඊමේල් වල ආගමනයත් සමග, පියුන් මාමාට හිමි රස්සාව තවදුරටත් සමාජයට අවශ්‍ය නොවන තැනට වැටුණි. ඒ වැටුණු පසුවත් කෙනෙකු පැමිණ "මට බයිසිකල් පදින්නයි ලියුම් බෙදන්නයි උපාධියක් තියෙනවා" යයි කීවාට ඔහුට රැකියාවක් හිමි නොවේ. මන්ද ඔහුගේ හැකියාවට අදාළ රැකියාවක් තවදුරටත් රැකියා වෙළඳපොළ තුල නොපවතින හෙයිනි. රැකියා වෙළඳපොළ තුල ඔබට වටිනාකමක් හිමිවීමට නම්, ඔබට ඔබේ ශක්‍යතාව පිළිබඳ කේවල් කිරීමේ අයිතිය හිමිවීමට නම් රැකියා වෙළඳපොළ තුල අලෙවිකරණය කල හැකි මට්ටමේ සුදුසුකම් ඔබට තිබීම අනිවාර්ය වේ. රැකියා වෙළඳපොළ විසින් ඉල්ලන්නේ මල් නම් ඔබ ළඟ තිබිය යුත්තේද මල් වේ. ඔබට එතුළ වටිනාකමක් හිමිවනුයේ එතෙකින් පමණි. එසේ නොවී "මල් නම් නැහැ හැබැයි ගල් තියෙනවා" කීවාට ඔබට කිසිදු අන්දමක මාකට් එකක් නොලැබේ. හේතුව, මල් හා ගල් කිසිදු අන්දමකින් සමාන නොවීමය. සරලවම කිවහොත් "ජොබ් මාකට් එක ඇතුලේ ඔබේ හැකියාව මාකට් කල නොහැකි නම් ඔබ එම පද්ධතියෙන් පිටතට විසිවේ". එම සරල සංසිද්ධිය ඔබේ හෝ මගේ පාලනය යටතේ පවතින්නක් නොවන බවද මෙහිලා අවධාරණයෙන් සඳහන් කල යුතුමය. එනයින් බලන කල රැකියාවක් සඳහා අයදුම් කිරීමට හෝ සටන් කිරීමට පළමු, ඒ සඳහා ඔබට අවශ්‍ය සුදුසුකම් තිබේදැයි සලකා බැලීම අත්‍යවශ්‍යයෙන්ම කල යුතුය. වත්මන් උපාධිධාරීන් "රුපියල් 10000ක සොච්චමකට ගම වටේ පැළ බෙදමින් යන" තත්වයට වැටුනේ තමාට අවශ්‍ය සුදුසුකම් තිබේදැයි නොසිතා, රැකියාවන් ඉල්ලමින් ආණ්ඩුව හා අඩව් ඇල්ලීමේ ප්‍රතිඵලයක් ලෙසටය යන්න මගේ පෞද්ගලික මතයයි. විහිළුවට කාරණය නම් එම රැකියාව හිමිවූ පසු මොවුන් "කමක් නෑ, ආණ්ඩුවේ රස්සාවක් හම්බුනානේ" කියා ඒ පිළිබඳව සතුටුවීමයි. එය හරියටම "ලෙඩා මළත් බඩ සුද්දයි" කියමින් සතුටු වීම වැනිය.
සබඳ, "ලෙඩා මළත් බඩ සුද්දයි!" යන මතයෙන් බැහැරවී, තම අනාගත ජීවිතය පිළිබඳ සබුද්ධික හා සවිඥානික තීරණයක් ගැනීමට දැන් කාලය එළඹ ඇතැයි මම සිතමි. උපාධි මිරිඟුව පසුපස ගොස්, මේ ලෝකයට තඹ සතයක හෝ වටිනාකමක් එක් නොකරන උපාධියක හිමිකරුවකු වී ජීවන කතරෙහි අතරමං වී ජීවිතය විඳවනවාද, එසේත් නැතිනම් යතාර්ථවාදීව ලෝකය දෙස බලා, "වැල යන අතට මැස්ස ගැසීමෙන්" ක්ෂේම භූමියක් කරා එළඹ ජීවිතය විඳිනවාද යන්න තීරණය කල හැක්කේ ඔබටය. ඔබ ගන්නේ මා මුලින් කිව් තීරණය නම්, ඔබ එම තීරණය ගත පසුව ඔබට විඳීමට සිදුවන දුක් ගැහැට පිළිබඳ ආණ්ඩුවට හෝ වෙනත් පාර්ශවයකට බැන වැදීම තුලින් ප්‍රකට වනුයේ "ඔබ කිසිදු රැකියාවකට කිසිදු අයුරකින් සුදුස්සෙක් නොවේ" යන්න විනා අන් කවරක් වත් නොවේ.

2 comments:

  1. @ ජීවිතේ මල්,

    ඇත්තයි ඇත්තයි මැඩම්... බොහොම ස්තුතියි ෂෙයා කලාට... :)

    ReplyDelete