Subtitle

මමතුමාට හිතෙන පිස්සු මමතුමාගේ වචන වලින් මමතුමාම ලියන මමතුමාගේ වැයික්කිය...! ඇයි අවුල්ද?? :D

Saturday, March 8, 2014

උපාධිය, රැකියාව හා රැකියා විරහිත උපාධිධාරීත්වය...!

මේ විසිඑක්වන සියවසයි. එයින්ද මේ වන විට වසර දහතුනකුත් කාලක් ගෙවීගොස් අවසානය. කාලය ගතවනවාටද වඩා බොහෝ වේගයෙන් අප වෙසෙන ලෝකය දියුණු වෙමින් පවතී. අද දිනය තුල අප එක් රැස් කරගන්නා දැනුම හෙට දිනට පහන් වීමටත් මතුයෙන් කල් ඉකුත් වී අවසන්ව තිබේ. එයද ඒක අතකට පුදුමාකාර වැඩකි. මන්ද යත්, මෙතරම් ශීඝ්‍රයෙන් දැනුම හා තාක්ෂණය දියුණු වීම විටෙක අදහාගන්නටත් අමාරු වීමය. කොයිහැටි වෙතත් ලෝකය තත්පරයෙන් තත්පරය අතිශය ශීඝ්‍ර දියුණුවක් ලබමින් සිටියි. කතාවේ බොටම් ලයින් එක එයයි.
වත්මන් ලෝකයේ දියුණුව රඳාපවතින ප්‍රබලතම පදනම නම්, දිනෙන් දින අලුත් වන, දිනෙන් දින සිය වපසරිය වැඩි දියුණු කරගන්නා "දැනුම" යි. ඕනෑම විෂය ක්ෂේත්‍රයකට අදාලව අලුතින් එක්රැස් කරගන්නා දැනුම මගින් එම විෂය ක්ෂේත්‍රය ව්‍යවහාරිකව යොදාගැනීමෙන් ලබාගත හැකි ප්‍රතිඵල වැඩි දියුණු කරමින් පවතී. මෙය සංකීර්ණ, එමෙන්ම සන්තතික ක්‍රියාදාමයකි. එය සන්තතික වන්නාක් පමණක්ම නොව එහි ශීඝ්‍රතාවද ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී. මෙහි ඇති විශේෂත්වය නම් එයයි.
දැනුමට සාපේක්ෂව එහි භාවිතය එසේත් නැතිනම් ව්‍යවහාරය ඉහල යන්නේ නම් එයින් සරලවම ගම්‍යමාන වනුයේ දැනුම වැඩිවීමට සාපේක්ෂව එමගින් ඇතිවන්නා වූ රැකියා අවස්ථා ගණනද ඉහල යන බවයි. සරල උදාහරණයක් ලෙස තොතතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හෝ පරිගණක විද්‍යා ක්ෂේත්‍රය සලකා බලන කල මෙය මොනවට පැහැදිලි වේ. එපමණක් නොව ගගන තාක්ෂණය, මෝටර් යාන්ත්‍රික තාක්ෂණය, නාවික ක්ෂේත්‍රය යනාදී සියල්ල තුලම මෙම ලක්ෂණය ඉතා පැහැදිලිව දැකගත හැකි වේ. මේ අයුරින් උක්ත කරුණ සනාථ වන උදාහරණ රාශියක් විවිධ ක්ෂේත්‍ර ඇසුරින් ගෙන හැර දැක්විය හැක. තාක්ෂණය පිළිබඳ සාකච්ඡාව මෙතනින් මදකට පසෙකින් තබා දැන් රැකියා දෙසට හැරෙමු.
ජීවත් වීමට නම් අවශ්‍ය ප්‍රමාණයට කෑ යුතුය. නැතිනම් සිදුවන්නේ මරණයට පත්වීමය. මරණයෙන් ගැලවීම හෙවත් ජීවත් වීම සඳහා ආහාර අවශ්‍ය වේ. එපමණක් නොව තවත් බොහෝ අවශ්‍යතා සහ වුවමනා රැසක් අපට ඇත. මේ කුමක් වුවත් ඉටු කරගැනීම සඳහා අපට කිසියම් ආකාරයක ඉපයීමක් කල යුතුය. එම ඉපයීම් ඔබට අවශ්‍ය භාණ්ඩ හා සේවා වෙනුවෙන් හුවමාරු කළ හැක. ඔබ උපයන්නා වූ ප්‍රමාණය මත ඔබට විය පැහැදම් කල හැකි ප්‍රමාණය තීරණය වේ. වැඩියෙන් උපයන්නා වැඩියෙන් වියදම් කරයි. අඩුවෙන් උපයන්නා අඩුවෙන් වියදම් කරයි. සරල බසින් කියන්නේ නම්, "වැඩියෙන් උපයන්නා කන අතර අඩුවෙන් උපයන්නා ලෙව කයි". ඉදින්, ඔබේ ඉපයීම් මත ඔබේ පැවැත්ම තීරණය වන නිසා, "අපව රකිනුයේ අප උපයන දේ" යයි කීම සාධාරණ වේ. ඒ නයින් "අප ඉපයීම සඳහා කරන දේ යනු අපේ රැකියාව වේ" ය යන්න අපෝහනය කල හැකිය.
ඉහත ඡේදයේ සඳහන් දේ පිළිබඳව වඩාත් සියුම්ව විමසා බැලුවහොත්, වත්මන් සමාජ සන්දර්භය තුල එය ඒ හැටිම සත්‍ය නොවන බව ඔබට ගම්‍ය වනු ඇත. මන්දයත්, අද කාලයේ රැකියාවකින් බලාපොරොත්තු වනුයේ මූල්‍යමය ආදායම් පමණක්ම නොවේ. වෘත්තීය ගරුත්වය, සමාජයේ පිළිගැනීම, සමාජ ක්‍රමය මත ඇති කල හැකි බලපෑම යනාදී කරුණු කාරණා රාශියක් වත්මන් සමාජය විසින් "රැකියාව" නම් සංකල්පය හා ඈඳා තිබේ. උදර ගින්දර නිවාගැනීම පිණිස අවශ්‍ය බඩගෝස්තරය උපයා ගන්නවාට අමතරව, ඇමති කෙනෙකු මුණගැසීම සඳහා වේලාවක් වෙන්කරගැනීමේ සිට, දඩ කොලයක් ලියන්නට යන පොලිස් රාළහාමි කෙනෙකුගෙන් ගැලවීම දක්වා යන මෙකී නොකී සියලු දෑ ඉෂ්ඨ සිද්ධ කරගැනීමට තම රැකියාව ප්‍රමාණවත් වේද යන්න සියලුම දෙනාට පොදුවේ ඇති ප්‍රශ්නයක් වී ඇත.ඒ සඳහා සමාජය විසින්ම අප වෙත සකසා දී ඇති මිනුම් දඬු කිහිපයකි. ඒවා අතුරෙන් මූලිකම එක නම් මුදල්ය. සමහරෙකුට අනුව, වැඩියෙන් උපයන පුද්ගලයා බලවත් වේ; නොහොත් සල්ලිකාරයා පොරකි. තවත් සමහරෙකුට අනුව එය කිසියම් පුද්ගලයෙකු යටතේ සිටින්නන් ගණනය. තමා යටතේ සේවකයන් වැඩි පිරිසක් සිටීනම් මෙම න්‍යායට අනුව හේ පොරකි. තවත් සමහරෙකුට අනුව එය දේශපාලඥයන්ට ඇති කිට්ටුවන්ත බවයි. මෙම න්‍යායට අනුව සලකා බලන කල දේශපාලඥයෙකුට වැඩියෙන්ම කිට්ටුවන්ත පුද්ගලයා පොරක් වේ. තවත් පිරිසක් සිතන පරිදී එය තම රැකියාව රාජ්‍ය ද, පෞද්ගලික ද යන්න මත තීරණය වේ. එම න්‍යායට අනුව, රාජ්‍ය අංශයේ රැකියාවක් හිමි පුද්ගලයා සාපේක්ෂ වශයෙන් පොරක් වේ.
කවරෙක් කොයි ලෙසකින් මෙය අර්ථ කථනය කරන්නට උත්සාහ ගත්තද, මෙකී සියලු දේ ඔබට උරුමද නැද්ද යන්න තීරණය වනුයේ කාරණා තුනක් මතය. ඒවා නම්,
  1. ඔබට උපතින් ධනය හිමිද?
  2. ඔබ උපතින් ඉගෙනීමෙහි ලැදි ද??
  3. ඔබට උපතින් ව්‍යාපාරික ඥානය හිමිද?
මේවා හැරුණුකොට ඔබේ ඉපයීම් මාර්ගය තීරණය කරන සාධක පවතීනම්, ඒ බොහෝ කලාතුරකිනි. ඒ මට දැනෙන හැටිය. උක්ත කරුණු වලින්, අංක එක හෝ අංක තුන කෙනෙකුට හිමිවන්නේ කලාතුරකිනි. අංක දෙක හිමිවනුයේ ඊටත් කලාතුරකින් බව සැබෑය. නමුත් අපේ රටේ ජීවත් වන බහුතරයක් ජනතාවගේ සිතේ පවතින්නේ මීට හාත්පසින්ම වෙනස් අදහසකි. එනම් "ඉගෙන ගන්නා හැමෝටම රක්සාවක් තිබීම අනිවාර්ය වේ" යන්නයි. අපේ රටේ සාතිශය බහුතරයක් ජනතාව හිතන පරිදී උක්තයෙන් සඳහන් අංක එක හා තුන අදාළ වනුයේ අංක දෙක සහජයෙන් උරුම නොවන්නා වූ පිරිසටය.
දැනුම වැඩිවන විට ඒ හා සාපේක්ෂව රැකියා ප්‍රමාණයද ඉහල යන බව අපි ඉහතින් සාධනය කර ගතිමු. එය ඇත්තය. කවරෙකුට හෝ එය එසේ නොවේ යයි සිතේනම් මේ සමග කොමෙන්ටුවක් කෙටීමේ නිදහස ඔහු හෝ ඇය සතුව ඇත. මෙහි ඇති එකම ගැටලුව නම්, එය එසේ යයි සිතා "ඉතින් මම ඉගෙන ගත්තනම් මට රස්සාවක් තියෙන්නම ඕනේ, එහෙම නැත්තම් එකට වගකියන්න කෙනෙකුත් ඉන්න ඕනේ, මොකද මට උපාධියක් තියෙනවා." සිතීමය.
සත්‍යයකි. ඔබ උපාධියක් ලබාගන්නවා යනු ඔබ රැකියාවක් කිරීමට අවශ්‍ය සුදුසුකමක් සම්පූර්ණ කර ගැනීමකි. නමුත් ඔබට අමතක වූ දෙය නම්, "උපාධියක් යනු රැකියාවක් සඳහා වන සුදුසුකම් වලින් එකක් පමණක්ය" යන්නය. ඔබ ලබාගන්නා උපාධිය යනු රැකියාවට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකමක් පමණක්ම වේ. අධ්‍යාපනික වශයෙන් ඔබේ යෝග්‍යතාවට අමතරව, ඔබට රැකියාවක් ලැබීම තීරණය කෙරෙන්නා වූ සාධක රාශියක් පවතී. ඔබ සතු ප්‍රායෝගික ඥානය, ඔබේ ආකල්ප, ඔබ පිළිබඳව ඔබ විසින් ලබාදෙන ප්‍රතිරූපය යන මෙකී නොකී කරුණු කාරණා රැසක් මත ඔබට කිසියම් රැකියාවක් හිමිවේද නැද්ද යන්න රඳා පවතී.
දැන් අපි වත්මන් ශ්‍රී ලංකාවේ රැකියා පිළිබඳ ගැටලුව දෙසට හැරෙමු. අපේ රටේ මේ වන විට විශ්ව විද්‍යාල උපාධිධාරීන් ඉතා විශාල සංඛ්‍යාවක් සිටිති. විවිධ විෂය ක්ෂේත්‍රයන් ඔස්සේ සිය උපාධි පාඨමාලාවන් නිම කොට, උපාධි සහතික සහ ලෝගු වලට හිමිකම් කිව් ඔවුන්ගෙන් සාතිශය බහුතරයක් මේ මෑතක් වන තුරුම කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට, ලිප්ටන් වටරවුම අසල වැනි උද්ඝෝෂණ ව්‍යාපාර සඳහා නම ගිය ස්ථානවල, වරු ගණන් අව්වේ වේලෙමින් වැස්සට තෙමෙමින් අරගල කළෝය. උච්ඡාරණය කරන්නට උත්සාහ ගත විට හක්ක පනින, දිව උළුක් වන තරම් බරැති වචන වලින් සැදුම් ලත් නම් ඇති සමිති සංගම් පිහිටුවාගෙන යකා නැටූහ. එසේ කල බොහෝ අරගලයන්හිදී ඔවුන්ගේ ප්‍රධානතම සටන් පාඨයක් වූයේ "අපට රැකියා ලබා දීම ආණ්ඩුවේ වගකීමක්!" කියාය. ඔවුන්ට අනුව කෙනෙකු උපාධියක් ලබාගත් පමණින් එම උපාධිධාරියාට/ධාරිණියට රැකියාවක් ලබා දීමට ආණ්ඩුව සැදී පැහැදී සිටිය යුතුය. නමුත් එක්කෝ ඔවුන්ට අමතකව ගිය, නැතිනම් ඔවුන් නොසලකා හරින ලද කාරණය නම් "සමහර පුද්ගලයන් හට සිය උපාධිය හෝ පාඨමාලාව හෝ මොන මල ඉලව්ව හෝ අවසන් කිරීමටත් පළමුකොටම ඉතාම හොඳ මට්ටමේ රැකියාවක් සඳහා දොරගුළු විවර වී තිබීමය."
මා මුලින් කිව්වාක් මෙන් දැනුම හා ඥානය ප්‍රගමනය වන විට ඒ හා සාපේක්ෂව රැකියා ප්‍රතිශතයද ඉහල යයි. නමුත් ගැටලුව පවතින්නේ වත්මන් ලෝකයෙහි අප දන්නා සියලු විෂය ක්ෂේත්‍රයන් සඳහා මෙය එක සේ සත්‍ය නොවීමය. කාර්මික, යාන්ත්‍රික, තාක්ෂණික ආදී කිහිපයක් හැරුනුකොට අනෙකුත් විෂයන් පිළිබඳව දැනුම වැඩිවීමට සාපේක්ෂව රැකියා වෙළඳපොල ප්‍රසාරණය නොවේ. මන්ද රැකියා වෙළඳපොළෙහි තත්වය තීරණය වන්නේ කිසියම් නිලයක් හෝ තනතුරක් සඳහා පවතින්නා වූ අවශ්‍යතාව නැතහොත් ඉල්ලුම මත වීමය. උදාහරණයක් ලෙස ඊමේල් වල ආගමනයත් සමග, පියුන් මාමාට හිමි රස්සාව තවදුරටත් සමාජයට අවශ්‍ය නොවන තැනට වැටුණි. ඒ වැටුණු පසුවත් කෙනෙකු පැමිණ "මට බයිසිකල් පදින්නයි ලියුම් බෙදන්නයි උපාධියක් තියෙනවා" යයි කීවාට ඔහුට රැකියාවක් හිමි නොවේ. මන්ද ඔහුගේ හැකියාවට අදාළ රැකියාවක් තවදුරටත් රැකියා වෙළඳපොළ තුල නොපවතින හෙයිනි. රැකියා වෙළඳපොළ තුල ඔබට වටිනාකමක් හිමිවීමට නම්, ඔබට ඔබේ ශක්‍යතාව පිළිබඳ කේවල් කිරීමේ අයිතිය හිමිවීමට නම් රැකියා වෙළඳපොළ තුල අලෙවිකරණය කල හැකි මට්ටමේ සුදුසුකම් ඔබට තිබීම අනිවාර්ය වේ. රැකියා වෙළඳපොළ විසින් ඉල්ලන්නේ මල් නම් ඔබ ළඟ තිබිය යුත්තේද මල් වේ. ඔබට එතුළ වටිනාකමක් හිමිවනුයේ එතෙකින් පමණි. එසේ නොවී "මල් නම් නැහැ හැබැයි ගල් තියෙනවා" කීවාට ඔබට කිසිදු අන්දමක මාකට් එකක් නොලැබේ. හේතුව, මල් හා ගල් කිසිදු අන්දමකින් සමාන නොවීමය. සරලවම කිවහොත් "ජොබ් මාකට් එක ඇතුලේ ඔබේ හැකියාව මාකට් කල නොහැකි නම් ඔබ එම පද්ධතියෙන් පිටතට විසිවේ". එම සරල සංසිද්ධිය ඔබේ හෝ මගේ පාලනය යටතේ පවතින්නක් නොවන බවද මෙහිලා අවධාරණයෙන් සඳහන් කල යුතුමය. එනයින් බලන කල රැකියාවක් සඳහා අයදුම් කිරීමට හෝ සටන් කිරීමට පළමු, ඒ සඳහා ඔබට අවශ්‍ය සුදුසුකම් තිබේදැයි සලකා බැලීම අත්‍යවශ්‍යයෙන්ම කල යුතුය. වත්මන් උපාධිධාරීන් "රුපියල් 10000ක සොච්චමකට ගම වටේ පැළ බෙදමින් යන" තත්වයට වැටුනේ තමාට අවශ්‍ය සුදුසුකම් තිබේදැයි නොසිතා, රැකියාවන් ඉල්ලමින් ආණ්ඩුව හා අඩව් ඇල්ලීමේ ප්‍රතිඵලයක් ලෙසටය යන්න මගේ පෞද්ගලික මතයයි. විහිළුවට කාරණය නම් එම රැකියාව හිමිවූ පසු මොවුන් "කමක් නෑ, ආණ්ඩුවේ රස්සාවක් හම්බුනානේ" කියා ඒ පිළිබඳව සතුටුවීමයි. එය හරියටම "ලෙඩා මළත් බඩ සුද්දයි" කියමින් සතුටු වීම වැනිය.
සබඳ, "ලෙඩා මළත් බඩ සුද්දයි!" යන මතයෙන් බැහැරවී, තම අනාගත ජීවිතය පිළිබඳ සබුද්ධික හා සවිඥානික තීරණයක් ගැනීමට දැන් කාලය එළඹ ඇතැයි මම සිතමි. උපාධි මිරිඟුව පසුපස ගොස්, මේ ලෝකයට තඹ සතයක හෝ වටිනාකමක් එක් නොකරන උපාධියක හිමිකරුවකු වී ජීවන කතරෙහි අතරමං වී ජීවිතය විඳවනවාද, එසේත් නැතිනම් යතාර්ථවාදීව ලෝකය දෙස බලා, "වැල යන අතට මැස්ස ගැසීමෙන්" ක්ෂේම භූමියක් කරා එළඹ ජීවිතය විඳිනවාද යන්න තීරණය කල හැක්කේ ඔබටය. ඔබ ගන්නේ මා මුලින් කිව් තීරණය නම්, ඔබ එම තීරණය ගත පසුව ඔබට විඳීමට සිදුවන දුක් ගැහැට පිළිබඳ ආණ්ඩුවට හෝ වෙනත් පාර්ශවයකට බැන වැදීම තුලින් ප්‍රකට වනුයේ "ඔබ කිසිදු රැකියාවකට කිසිදු අයුරකින් සුදුස්සෙක් නොවේ" යන්න විනා අන් කවරක් වත් නොවේ.

Sunday, March 2, 2014

ලව් කිරීම සහ ඇන ගැනීම....!

තුන්වන සෙමෙස්ටරයේ විබහගේත් ඉතින් අදින් අහවර වුණා. හයමාසයක් තිස්සේ දත කාගෙන Javascript, php, managerial roles, double entry accounting, usecase diagrams, class diagrams සහ calculus එක්ක අල්ලපු අඩව්ව ඉවර වුණා. ඉතින් විබහගේ අහවර වුන සතුටටත් එක්කල පොඩි ආතල් එකක් දාන්න කියල කැලෑසියේ කොල්ලෝ කෙල්ලෝ ගැන් එකත් එක්කල ඩයින් මෝ බැහැලා, සබ්මැරින් දෙකකටයි පෙප්සි වීදුරු එකහමාරකටයි වග කියල එහෙම, ගෙදර ඇවිත් මගේ අඹු සිඟිත්ත (ඒ කිව්වේ දුකට සැපට මගේ ලඟින් ඉන්න මගේ ලැට්ටොෆ් එක) ඉස්සරහින් ඈඳි ගත්තේ, කාලයක් තිස්සේ හිතේ තිබිච්ච දෙයක් කොටලා දාන්න හිතාගෙන...
මේ කතාව මේ විදිහට කියන එක නම් හරිද කියන්න මම දන්නේ නැහැ. ඒත් එක්කම මේක කියවන අයට මොන මොනවා හිතෙයිද කියන්න මම දන්නෙත් නැහැ. හැබැයි කෙලින්ම කියන්න, එහෙම මොනවා හිතුනත් මට ඇති වැඩකුත් නෑ. මොකද කියනවානම් මම මේ කතාව කියන්නේ මේක කියවන සියලු සත්වයාගේ හිත සුව පිණිස. අපිත් එක්ක විභාගේ කරපු ගෑණු ළමයෙක් ඉන්නවා. මේ කතාවේ කතානායිකාව තමයි එයා. ඉතින් ඊයේ දවසේ උදේ වරුවේ තිබුණ පේපර් එක ඉවර වෙලා, මගේ යාළුවො හිටපු හෝල් එක පැත්තේ යනකොට, උන්ටික වටවෙලා ඉන්නවා. බැලින්නම් මෙන්න මේ කියන ගෑණු ළමය අරුන් ටික මැද්දට වෙලා හොඳටෝම අඬනවා. මේක දැක්ක පාර මටත් නිකං කොයිල් වගේ වුණා. ඇයි හත්ඉලව්වේ මෙහෙමත් අඬනවද... මමත් ඉතින් නිකං මෝඩ පහේ විහිළුවක් සප්ලයි කරලා ෂේප් එකේ එතනින් මාරු වුණා.
කොහොමහරි ඊළඟ පේපර් එක ඉවර කරලා හවස් වරුවේ ගෙදර යද්දී මගේ යාළුවෙක්ගෙන් මම නිකමට සීන් එක ගැන අහල බැලුව. බැලින්නම් වෙලා තියෙන්නේ මේ කියන ගෑණු ළමයාගේ තිබිච්ච ආදර සම්බන්ධකමක් (ඒ කිව්වේ [ඉ]ලව් එෆෙයා එකක්) හබක් වෙලා. එක තමා මේ මනුස්සය අර මොකාද වගේ අඬලා තියෙන්නේ. ඉතින් ඕක අහගෙන ඉඳල ටිකක් වෙලා කල්පනා කරද්දී තමා "මෙන්න මෙහෙම කතාවක් මම ලියන්න හිතන් හිටිය නේද" කියල මගේ මීටරේ හෙඩිමට සමපාත වුණේ...
මෙම කතාව මේ අයුරින් යතුරු ලියනය කරන මමද වරක් ආදරය කලෙමි. ඒ අර ජීවිතයටම වරක් පමණක් කල හැකි තාලයේ ආදරයකි. අදින් වසර දෙකහමාරකට පෙරාතුව ඇය මගේ ජීවිතයෙන් සදහටම නික්ම ගියාය. ඒ සඳහා විවිධාකාරයේ හේතු කාරණා ඇය විසින් ලබා දෙන්නට යෙදුනද, ඒ එකක්වත් මට පිළිගත හැකි නොවුණි. ඒ ඒවා සියල්ලම මගේ ප්‍රාථමික බුද්ධියට වටහා ගත හැකි මට්ටමට වඩා බොහෝ ඉහලින් තිබුණු නිසාය. කොයි හැටි වෙතත් අද ඇය මට වඩා බොහෝසෙයින් කඩවසම් කොලු ගැටයෙකු හා හාද වී සිටින්නීය. ඇයට එසේ බොහෝ පහසුවෙන් මා අමතක කළ හැකි වුවද මට එය එසේ නොවීය. ඒ පිළිබඳව මම ඇයට කිසි දිනෙක දොස් නොකියමි. ඇය එදා ඒ ගත්තේ ඇගේ ජීවිතය පිළිබඳ ඇයට ගත හැකි තීරණයකි. එම තීරණයෙහි හරි වැරදි බව සෙවීම කෙසේවුවද ඇය කළ දෙය කිසිදු ලෙසකින් අසාධාරණ නොවේ. නමුත් මා සිතතුළ ඇය කෙරේ බැඳී ආලය අදටත් එසේමය. එදා මෙන්ම අදත්, අද මෙන්ම හෙටත් මම ඇයට ආදරය කරමි. තව අදටත් මගේ හිත තුල දැල්වෙන මතක ගිනිසිළ, එදා මෙන්ම දීප්තිමත්ව දැල්වෙන්නේය. මුලදී මෙම ගිනිසිළ බොහෝසෙයින් වේදනාකාරී විය. නමුදු කාලයාගේ ඇවෑමෙන් එම වේදනාවට හුරු වීමට මට හැකිවිය. එමෙන්ම එහි වේදනාව ගැන ලෝකයාට හඬගා කියනු වෙනුවට, නිහඬව එහි ඇති දීප්තියෙහි සුන්දරත්වය විඳින අයුරු දැන ඉගෙන ගන්නටද මට හැකිවිය. එවකට මා ගත කල ජීවිතය ගැන දැන් යළි සිතා බලන කළ, එම වේදනාකාරී හැඟුමට මා මුහුණ දුන් අයුරු පිළිබඳව සිතන විට මට මා පිළිබඳව සතුටු විය හැකි බව මම දැන් සිතන්නේ නිහතමානී ආඩම්බරයකිනි. මන්දයත් අදකාලයේ ආදර සබඳතා බොහෝවිට කෙලවර වනුයේ දෙවන ගමනින් නොව අවසන් ගමනින් වීම නිසාය. එක්කෝ කොල්ලා කෙල්ලට පිහියෙන් අනී. ඉන්පසු ඌද වස පානය කර දිවි නසා ගනී. එසේත් නැතිනම් ගඟකට මුහුදට පනී. නමුත් මට ඔය එකක්වත් හිතුණේ නැත.
මදක් සිතන්න. ආදරය හෝ වේවා, ලව් හෝ වේවා වෙන අන් යමක් හෝ වේවා, එම සබඳතාවයේ අවසන් අරමුණ යුග දිවියක් ඇරඹීම විනා අන් කවරක් වත් නොවේ. සරලවම කිවහොත්, විවාහය යනු මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට අත්‍යවශ්‍ය, අනිවාර්ය සාධකයක් වූ ලිංගිකත්වයට නෛතික, සමාජයීය හා සංස්කෘතික වටිනාකම් ලබාදීම විනා අන් කවරක් වත් නොවේ. එපරිද්දෙන්ම, ආදරය යනු එම රාමුව තුළට ප්‍රවිෂ්ඨ වීම සඳහා සමාජය විසින්ම සකසා දෙනු ලැබූ මගුල් තොරණක් පමණි.
ආදරය කිරීම වරදක් නොවේ. ආදරයේ විරහව නිසා වැලපීමද වරදක් නොවේ. නමුත් එම කඳුළු වලින් ඔබේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවන් සේදී යාමට ඉඩහැරීම කොතරම් සාධාරණද යන්න මෙහි ඇති එකම ගැටළුවයි. "බොට යන්න ඕනේ නම් මකබෑවියන්!" කියා තමන්ගේ ජීවිතය කෙරෙහි අවධානය යොමුකරනවා වෙනුවට හඬා දොඩා වැලපී, තමුන්ගේ විභාග ප්‍රශ්න පත්‍රය ඇන ගැනීම මට හිතෙන හැටියට නම් සාධාරණ නොවේ. එයින් ඔබ වතුරේ යවන්නේ ඔබේ ජීවිතය හා ඔබේ කාලය පමණක්ම නොවේ. ඔබේ දෙමාපියන්ගේ ඩාදිය කඳුළු සහ ඔවුන්ගේ අහිංසක බලාපොරොත්තුද ඔබ ඒ සමග වතුරේ යන්නට ඉඩ හරින බව නම් කිව යුතුමය. ඔබගේ ජීවිතයේ දිශාව නිර්ණය කල යුත්තේ ඔබ මිසක ඔබ සමග ආදර ගනුදෙනුවකට පැටලීමට පැමිණි අයෙකු නොවේ. එවන් කෙනෙකුට ඔබගේ ජීවිතය පිළිබඳ තීරක බලය ලබාදීමට තරම් ඔබ දුර්වල නම්, එය ඔබ ඔබටම කරගන්නා අපහාසයකි.... 

ගොනා සහ තණකොළ

මෙම ලිපිය යතුරු ලියනය කිරීමට යතුරු පුවරුව අතට ගත මොහොතේ පටන් මා කල්පනා කරමින් සිටියේ කරුණු තුනක් පිළිබඳවය. ඉන් පළමු කරුණ නම්, මා විසින් මෙය ලිවිය යුතුමද යන්නය. කවර හෙයින්ද යත්, මෙය කියවන සාතිශය බහුතරයක් සරසවි සිසුන් “මෙන්න ආණ්ඩුවට කඩේ යන නරියෙක්” යනුවෙන් මා වර්ගීකරණය කරනවාට සැකයක් නැති හෙයිනි. එබැවින් පළමුකොටම සඳහන් කළයුතු, මෙය කියවන ඔබ විසින් මතක තබා ගතයුතු වැදගත් කරුණක් නම්, මෙය කිසිසේත්ම ආණ්ඩුවට සුදු හුණු ගෑමේ ව්‍යාපෘතියක් නොවන බවය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වත්මන් පාලක පක්ෂය, තමා විසින් දිනාගත් විසල් ජනබලය හත් අතේ ගාගෙන ඇති තරම ගැන කියමින් නාස්ති කරන්නට වෙලාවක් මට නොමැත. එම නිසා මම මෙහිදී ඒ පිළිබඳව  සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවෙමි. දෙවන කරුණ නම්, මවිසින් මෙහි යොදා ඇති මාතෘකාව මෙම ලිපිය සඳහා කෙතරම් දුරට ගැලපේද යන්නය. මෙය කියවන පාඨක ඔබ එම වදන් පේළියට අකමැතිනම්, ඔබට අභිමත මාතෘකාවක් ඒ සඳහා යොදා ගැනීමේ පූර්ණ නිදහස ඔබ සතු වේ. තෙවැන්න නම්, මෙම ලිපිය ලිවීම සඳහා මගේ වෙලාව, යතුරු ලියනය කිරීම සඳහා මාගේ ශ්‍රමය, සහ මාගේ මෙම ව්‍යායාමය කෙතරම් දුරට පලදායී වේද කියාය. කොටින්ම මේ ලිපිය පල කිරීමට මෙතරම් කලක් ගතවීමට හේතු වූයේද එයයි. කෙසේ වුවද මුලින්ම මෙම ලිපියේ ශීර්ෂය පිළිබඳ සලකා බලමු. හරකා, හෙවත් "ගොනා" (ඉංගිරිසියෙන් "කව්") යනු ශාක භක්ෂක සත්වයෙකි. ඌ කන්නේ තණකොළය. හීලෑ කළ නොකළ ඕනෑම ගොනෙකු තණකොළ බුදින බව අපි දනිමු. "හීලෑ කල ගොනෙකු කන්නේ මොනවාද, කෙසේද?" යන ප්‍රශ්නය මා ඔබෙන් ඇසුවොත් "දවල්ට ගැට ගහල තියෙන තැන ඉඳන් වටේ තියෙන තණකොළ ටික කනවා. රෑට ගාලට වෙලා දවල් කාපු තණකොළ ටික වමාරා කනවා" යනුවෙන් ඔබ කියනු ඇත. කොටින්ම ඌට දෙන දේ හැරුණු විට වෙන යමක් කෑ නොහැක. දෙන දේ ආහාරයට ගෙන වෙන දී බලාගෙන සිටීම විනා වෙන අන් යමක් ගැන ඌ ප්‍රශ්න කරන්නේද නැත. තමුන්ගේ හාම්පුතා මට්ටු කරන්නට යන්නේද නැත. 
කතාවට අවතීර්ණ වෙමින්, වර්ෂ 2012ක් වූ දෙසැම්බර් මස 30 වන දාතම දරණ ඉරිදා ලංකාදීප පුවත් පතෙහි අටවැනි පිටුව වෙත ඔබගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. එහි අඩ පිටුවක් පුරා “නායකත්ව පුහුණුව ගැන ශිෂ්‍යයන් කියන කතා” යන මැයෙන් පළවූ ලිපිය කියවූ පසු මෙය නොලියාම බැරි බැව් මට පසක් වූ බවනම් කිවයුතුමය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භූගෝල අධ්‍යයනාංශයේ මහාචාර්යවරයෙකුගේ අදහස් වලින් ආරම්භ වී තවත් සිසුන් තිදෙනෙකුගේ අදහස් වලට ඉඩ හසර ලබා දී තිබුණු එම ලිපියේ බොහෝ සෙයින් කතා බහට ලක්වී තිබුණේ නායකත්ව පුහුණු වැඩසටහනේ ඇති අඬුලුහුඬුකම් පිළිබඳවය. සාරාංශ වශයෙන් ගත්කල එම ලියුම්කරු සමග අදහස් දක්වා තිබුණු පිරිසෙයින් බහුතරයකගේ මතය වනුයේ ආණ්ඩුවේ ඇමති හෙන්චයියන්ගේ යටිමඩි ගැසීම් සහ අනුවණ, අදූරදර්ශී ක්‍රියාපිළිවෙත් නිසා මෙම නායකත්ව පුහුණු වැඩසටහන පුස්සක් බවට පත්ව ඇති බවටය. එය නම් සහතික ඇත්තක් බව මා විසින් අමුතුවෙන් කියන්නට අවශ්‍ය නොවේ. අනෙක් හැම එකම නාගත්තාක් මෙන් මෙම වැඩසටහනද ආණ්ඩුව විසින් නාගෙන ඇති බව මොනවට පැහැදිලි වේ. ආණ්ඩුව මෙය නොවී වෙන කොයි එකක් වුවත් අවසන් ප්‍රථිපලය වනුයේද මෙයමය. කැලය මාරු වුවද කොටියාගේ පුල්ලි මාරු නොවේ. එපරිද්දෙන්ම ආණ්ඩුව මොන පාට වුවත් පොලිටික්කා පොලිටික්කාමය. හැම ආණ්ඩුවකම ඉන්නේද, හැමදාම ආණ්ඩු කරන්නේද එකම කැණහිලුන් රැළය. ඡන්දයකින් වෙනස් කළහැකි එකම දේ ආණ්ඩුවේ පාට පමණක් යැයි යමෙකු කිවහොත් එය “ඡන්දය” නම් කුලකයේ සියලු අවයව සඳහා සත්‍ය වේ.
කෙසේ නමුදු, එහිදී සිය අදහස් දක්වා තිබූ ශිෂ්‍යාවක් විසින් සඳහන් කළ කරුණු උපුටා දක්වනු කැමැත්තෙමි. කොටින්ම කියතොත් මෙම ලිපිය සඳහා මෙලෙස වචන පෙළ ගස්වන්නට මා පෙළඹවූයේද පහතින් උපුටා දක්වා ඇති සඳහනය. “මේ පුහුණුවේදී ලබාදුන් ඇතැම් පුහුණුවීම් අපට දරාගන්න බැරි වුණා. උදේට කිලෝමීටර් 3ක් දුවන්න දුන්නා. සමහර ළමයින්ට ඒකට ශාරීරික ශක්තියක් තිබුණේ නෑ. ළමයි අසනීප වුණා. ඒත් කිසිම විවේකයක් නොදී අපිව එක දිගටම ඒ වගේ යෙදෙව්වා. මට දණහිස් අමාරුවක් හැදුනා. එය අදටත් තියෙනවා. කැළණිය සරසවියේ ශිෂ්‍යාවකගේ කොන්ද ඇදවුණු තත්වයක් ඇතිවුණා. ඇය හුඟක් මානසිකව වැටුණා. වැසිකිළි සේදීම වැනි කාර්යයන් අපට අසීරු වුණා.” යනු ඇයගේ දුක්බර කතාවයි.
ඉහත ඡේදයේ අවසානයෙන් පටන් ගතහොත්, එහි අවසන් වාක්‍යය ඇයගේ මුවින් පිට කිරීම වෙනුවෙන් ඇයගේ මුවෙහි මසුරන් හොන්ඩර එකහමාරක් පිරවූවත් මදිය. හමුදා කඳවුරක වාතාවරණය සහ හමුදා කඳවුරක සිදුකෙරෙන පුහුණු කිරීම් කෙබඳුදැයි මම හොඳාකාරවම දනිමි. මා ඒ පිළිබඳව දන්නේ කෙසේදැයි කවරෙකුට හෝ ගැටළුවක් ඇත්නම් මාගේ වෘත්තිය ගැන අභිමත ඕනෑම ආකාරයකට සොයා බැලීමේ පූර්ණ නිදහස ඔහුට හෝ ඇයට ඇත. එමෙන්ම මා දන්නා තරමින් මෙම සිසුන්ට තමන් පාවිච්චි කරන වැසිකිළි විනා නිළධාරී නිවස්නයේ හෝ බලලත් නිළධාරී සහ සැරයන්වරුන්ගේ නිවස්නයේ හෝ සෙසු නිලයන් සඳහා වන සයනාගාරවල ඇති වැසිකිළි සෝදන්නට කියා නැත. මොවුන් හට අසීරු වී ඇත්තේ තමන් විසින් පාවිච්චි කළ වැසිකිළි සේදීමය. තමන් පහරන දේ පිරිසිදු කරන්නට අකමැති එම වැසිකිලි සේදීම අසීරු වී ඇති මොවුන්, කෙදිනක හෝ ලොකු පුටුවල අසුන් ගත් පසු තමන් යටතේ සේවය කරන සුළු සේවකයාගේ, කම්කරුවාගේ දුක හඳුනන්නේ කෙලෙසද? වත්මන් ශ්‍රී ලංකාවට වැදී ඇති හෙණය මෙයයි. මෙවැනි මහන්තත්ත දූපුතුන් වත්මන් සමාජයේ ඉහළ තනතුරු දැරීමේ ශාපය අද අපි අත්විඳිමින් සිටිමු. නායකත්ව පුහුණුව යන්නෙහි සැබෑ පරමාර්ථය මෙම උද්ධච්ච ආකල්ප බිඳහෙලීමයි. සරලවම කිවහොත් මෙවන් පුහුණු සැසි වලට ඔබට සහභාගී වීමට සිදුව ඇත්තේ ඔබ තුල ඇති ඔවැනි නින්දිත ආකල්ප නිසාය. නැතහොත් පැදුරු කඩමාල්ලේ හා බංකු කොටයේ ඇති දුක, අපහසුව නොදැන රජ පුටුවට යන එකා වලං කඩයකට පැන්න ගොනෙකුටත් අන්ත නිසාය.
“විනයෝ නාම සාසනස්ස ආයු” යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කොට වදාළේ, “Discipline is the crown jewel”යනුවෙන් ඉංග්‍රීසියෙන් සඳහන් වනුයේ විනය යන්න අන් සෑමදෙයකටම වඩා වැදගත් වන නිසාය. මෙම නායකත්ව පුහුණුවෙන්ද ලබාදෙන්නට උත්සාහ කරන්නේ මෙකී විනය බව අමුතුවෙන් කිවයුතු නොවේ. නිහතමානී බව, උපදෙස් පිළිපැදීම, නියෝග වලට කීකරු වීම යන මෙකී සියළුම කාරණා විනය යන කුලකයෙහි ලා ගැනෙන අවයවයන් වේ. වත්මන් ලංකාවෙහි බොහෝ පුද්ගලයන් සිතා සිටින්නේ උපාධියක් ලබාගත් පමණින් තමන්ට වඩා කෙරුමන් මේ ලෝකයෙහි නැත, එබැවින් තමන් යටතේ සිටින සියලු දෙනා තමාගේ අතට පයට බැල මෙහෙවර ඉටුකළ යුතුය කියාය. උපාධිය යනු අංතට්ටුවක් නොවේ. එබැවින් එය හිමිකරගත් පමණින් අනෙක් අයට අනින්නට යාම සුදුසු නැත. “මෝරන වී කරල, නැමෙයි රස වැඩිවන කල”  යනුවෙන් ඇම්. ඇල්. සිල්වා ගුරු මුහන්දිරමුන් විසින්  පබඳින්නට යෙදුනේ, එම පැදිපෙළ හෝඩියේ පන්තියේ සිට අපට දුන් සෑම සියලු අච්චු පොතකම තෙවැනි පිටුවේ ලොකු අකුරින් මුද්‍රණය කර තිබුණේ උගතෙකු සතුවිය යුතු අත්‍යාවශ්‍ය ගුණාංගයක් වන නිහතමානී කමෙහි අරුත පහදන්නටය. කෙදිනක හෝ උගතෙකු වූ පසු උක්ත පැදිපෙලෙහි අරුත පහදනවා වෙනුවට එහි අරුත මත පහරන්නේ උපාධිය යනු අංතට්ටුවකැයි සිතා සිටින මෙවැනි දුපුතුන්ය. එබැවින්, මෙවැනි කිසියම් ක්‍රියාදාමයක් ඇසුරින් උක්ත ප්‍රකාශය කරන්නට යෙදුනු දියණිය වැන්නවුන්ගේ මොලවල පිරී සිරවී ඇති මහන්තත්ත කම නමැති මළකඩ සූරාහැරීම අත්‍යාවශ්‍යයෙන්ම කලයුත්තක්ව තිබේ. මින් පෙර එය නොකිරීමේ අනිටු පලවිපාක කවරාකාරදැයි වටහාගැනීමට වත්මන් ලංකාවෙහි සිටින උගතුන් යයි කියාගන්නා උදවිය සමග වචන දහයක් කතාකිරීම පමණක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වේ.
මීළඟ කරුණ නම් මොවුන් හට කරන්නට සිදුවුනිය කියන ශාරීරික ක්‍රියාකාරකම්ය. ඇයට අනුව දිනකට කිලෝමීටර 3ක් දුවන්නට සිදුවීම මරණයෙන් කෙලවර වන වැඩකි. එපමණක් නොව, මොවුන් මැරෙන්නට ආසන්න වුවත් කිසිදු අන්දමක හෝ විවේකයක් දී නොමැත. මට ඇති එකම ගැටළුව නම් අන් කවරක්වත් නොව මේ කතාකරන දියණිය සැබවින්ම සිංහල ජාතිකද කියාය. අතීතයේ මෙරට සිටි අම්මාවරු සාතිශය බහුතරයක් අවමය දරුවන් හත අටකට උපත දුන් වීර මාතාවන්ය. ඒ එකදු උපතකදීවත් සිසේරියන් සැත්කමකින් දරුවා මෙලොවට බිහි කර නොමැතිවීමද විශේෂත්වයකි. ඉන්පසුද ඔවුන් කවරාකාර හෝ ආබාධයකට ලක්වී නැත. නමුත් මෙම දියණියට වැරදීමකින් හෝ සාමාන්‍ය දරු ප්‍රසූතියකට මුහුණ දීමට සිදුවුවහොත්, ඇයගේ අහිංසක ස්වාමි පුරුෂයාට සිදුවන්නේ ගල් ගෙඩියක් ගෙල බැඳගෙන මුහුදට පනින්නටය. කිලෝමීටර තුනක දුරක් හැල්මේ දුවන්නට බැරි (එසේ දුවන්නට දුන්නා නම්) මේ දුවණිය දරුවන් ප්‍රසූත කරන්නට යන්නේ කෙසේදැයි මට විශාල ගැටළුවක් පවතී. පොත පතේ සඳහන් වන ගැමි බවලත් උදවියගේ ගෙදර දොරේ, කමතේ හේනේ වැඩ කිඩ ගැන කියවන ඕනෑම අයෙකුට වත්මන් සමාජයේ ජීවත් වන පුයර බබාලා සහ පුයර ළමාතැනීලා පිළිබඳව ඇතිවනුයේ සාතිශය සංවේගයක් පමණි.
තවදුරටත් කඳුළු සලන ඇය පවසන අන්දමට කැළණිය විශ්ව විද්‍යාලයයට තේරුණු එක ශිෂ්‍යාවකගේ කොන්ද ඇද  වුනු තත්වයක් ඇති වී තිබේ. මා දන්නා, කියවා, අසා ඇති අන්දමට උපතින් නොවන බහුතරයක් අංග විකලතාවන්ට ප්‍රධානතම හේතුව වනුයේ වැරදි ඉරියව් (incorrect  posture) පවත්වා ගැනීම විනා වෙන අන් කවරක්වත් නොවේ. එහිදී කරන්නට සිදුවුනැයි කියන ශාරීරික ක්‍රියාකාරකම් නිසා ආබාධ ඇතිවීනම් එයට සහභාගී වූ සියල්ලන්ටම එබඳු තත්වයන් ඇති විය යුතුය. අඩුම වශයෙන් පස් හය දෙනෙක්වත් “නායකත්ව පුහුණුවට ගිහින් මගේ කොන්ද ඇද වුණා” යයි කීවොත් ඔය කතාව යම්තාක් දුරකට හෝ පිළිගත හැක. නංගි මල්ලි, මේ ඔබට කතාකරන මම ඔබට වඩා වසර තුනක් හෝ හතරක් වයසින් වැඩිමහල් අයෙක්මි. මාගේ ශරීර සුවතාවය පවත්වා ගැනීමේ අරමුණින් මම දිනපතා උදෑසන මීටර 400 ධාවන පථයේ වට 10ක් හෝ 12ක් මිනිත්තු 20ක කාලයක් තුල ධාවනයේ යෙදෙමි. එපමණක් නොව අවම වශයෙන් පැයක කාලයක් ව්‍යායාමයේ යෙදෙමි. කිසියම් දුරක් හැල්මේ දුවන්නට කියූ විට, ව්‍යායාම කරන්නට කියූ විට ඔබ “කෙඳිරි ගාන්නේනම්”අවංකවම ඔබගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ ඔබ ලජ්ජා විය යුතුව ඇත. එපමණකුදු නොව වැඩිකල් නොගොස්ම, කොළඹ හතේ නිදහස් චතුරස්‍රය අවට ආදී ස්ථානවල නිර්මාණය කල “jogging paths” දිගේ ඇවිදින, ට්‍රැක් කිට් ඇඳගත් ස්පෝර්ට්ස් ෂූස් දමාගත් “ඇවිදින පීප්ප” වැනි මිනිසුන්ගේ ගැහැණුන්ගේ ගොඩට ඔබටත් එක්විය හැකි බවටද මට සහතික විය හැක. මෙතුවක් කලක් ලංකාවේ නොතිබුණු මළවිකාර jogging සංස්කෘතියක් ඇතිවීමට වගකිව යුතු වන්නේ ඔබ වැනි බිව් මව්කිරට නිගාදෙන නිකමුන් බව කණගාටුවෙන් වුවත් කිව යුතුය. jogging කලාට කමක් නැත. නමුත් jogging කරන්නට, හරි හැටි ඇවිදගන්නටවත් බැරි පීප්පයක් වෙනතුරුම සිටිය යුතු නැත. අනික් අතට වයස අවුරුදු විස්සේදී දුවන්නට බැරි එකා හතළිහක් වූ පසු jogging කරන්නට යාම මහා විකාරයකි.
මේ කියන මමද, හමුදා පුහුණුව නොඅඩුවම ලද අයෙක් වෙමි. මගේ රැකියාව පිළිබඳව මෙහි සටහන් කිරීමට මා උත්සුක නොවනුයේ එය කයිවාරු ගැසීමක්, නැතහොත් “පොර ටෝක් දීමක්” වන බැවිනි. නමුත් පුහුණුව අතරතුර විවිධාකාර ශාරීරික ක්‍රියාකාරකම් රැසකට මමද මුහුණ දී ඇත්තෙමි. මා ඇතුළු තවත් පුහුණුවන්නන් සියයකට අධික පිරිසක් මා සමග පුහුණුවෙහි යෙදුනි. දේව පිහිටෙන් අපෙන් එකෙකුටවත් ඔය කියන කෙළවරක් නැති “අමාරු” වැලඳුනේ නම් නැත. එපමණකුදු නොව එම සෑම ක්‍රියාකාරකමක්ම කිරීමට පළමු අපෙන් ඇසු එකම පැනය “physically unfit කියල හිතෙන කවුරුහරි ඉන්නවද?” කියාය. ඒ කිසියම් අයෙකු කවර හෝ ශාරීරික අපහසුවකින් පෙළේ නම් ඔහුට හෝ ඇයට එයින් වැළකී සිටීමේ අවකාශ ලබා දීමටය. එම නිසා, සන්නද්ධ හමුදාවක නිත්‍ය සේනාවට බඳවාගෙන පුහුණු කල අපවවත් “බලෙන් නොදිවවූ” රටක “අපිව බලෙන් දිවෙව්වා” යැයි නායකත්ව පුහුණුවට සහභාගී වූ කවරෙකු හෝ කියතොත් ඔහු හෝ ඇය කියනුයේ ගල් පැලෙන බොරුවක් බවට මම සහතික වෙමි. ඒ හැරත් නායකත්ව පුහුණුව තුලදී මොවුන්ට මුහුණ දීමට සිදුවිනැයි කියන ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රමාණාත්මකව ගතහොත්, යුද හමුදා පුහුණුවෙන් අරික්කාලකිනුත් අරික්කාලකි. විශේෂ බලකා සෙබලෙකු මුහුණ දෙන පුහුණුවෙන් නම් දහසකින් පංගුවකි. මොවුන්ට අමතකව ගිය වැදගත්ම කරුණ වනුයේ, “සන්නද්ධ හමුදාව තුළ එම පූර්ණ සටන් පුහුණුව ලබනුයේද මව් කුසින් මෙලොව එලිය දුටු, මව් කිරෙන් පන්නරය ලද හෙළ බිමේ සුජාත පුතුන් හා දියණියන්ය” යන්නය. පෙර කී කතාව කියූ දියණිය පරිද්දෙන් ත්‍රිවිධ හමුදාවේ සාමාජික සාමාජිකාවන්ද තම පුහුණුවේදී නාහෙන් ඇඬුවේ නම් මේ වන විට කොටි සංවිධානයේ නපුංසකයන් රට පුරා පිනුම් ගසනවා නොඅනුමානය.
මේ සියලු කතන්දර මධ්‍යයේ කිවයුතු වැදගත්ම කරුණ නම්, මගේ ළඟම මිතුරියකද මීට මාස කිහිපයකට පෙර මෙම නායකත්ව පුහුණුව සඳහා සහභාගී වූ බවය.පුහුණුව අවසන්ව යළි පැමිණි ඇය මා සමග කිව්වේ “කට්ටියට ට්‍රේනින් ඉවර වෙලා ආපහු යන්න ලෑස්ති වෙද්දී මාර අප්සට් අයියේ” කියාය. එම වැකියෙන් පැහැදිලි වන්නේ කුමක්දැයි වටහා ගැනීම පාඨක ඔබටම භාර කරමි. අවසන් වශයෙන් කනාගාටුවෙන් වුවත් කිව යුතුව ඇත්තේ, “මේ පුහුණුවේදී ලබාදුන් ඇතැම් පුහුණුවීම් අපට දරාගන්න බැරි වුණා. උදේට කිලෝමීටර් 3ක් දුවන්න දුන්නා. සමහර ළමයින්ට ඒකට ශාරීරික ශක්තියක් තිබුණේ නෑ. ළමයි අසනීප වුණා. ඒත් කිසිම විවේකයක් නොදී අපිව එක දිගටම ඒ වගේ යෙදෙව්වා. මට දණහිස් අමාරුවක් හැදුනා. එය අදටත් තියෙනවා. කැළණිය සරසවියේ ශිෂ්‍යාවකගේ කොන්ද ඇදවුණු තත්වයක් ඇතිවුණා. ඇය හුඟක් මානසිකව වැටුණා. වැසිකිළි සේදීම වැනි කාර්යයන් අපට අසීරු වුණා.” සහ මෙයාකාර වෙනත් කතා “උපන් බිමට වැදූ මවට ණයගැති, නිහීන, නිකමුන්ගේ කතා” බවය. හෙළ බිමේ හෙළ මව්කුසකින් මෙලොව එලිය දුටු, මව්කිරෙන් පන්නරය ලද හෙළ දුවාදරුවන්ගේ මුවින් ඉහත ආකාරයේ වචන කිසිදා පිට නොවන බව මම හොඳාකාරවම දනිමි. අවංකවම මාගේ මෙම ලිපියෙහි මවිසින් යොදා ඇති භාෂා ව්‍යවහාරය ගැන මම කණගාටු වෙමි. නමුත් මීට වඩා සුභාෂිතව මෙම කරුණු ඒත්තු ගන්වන්නට සුදුසු වචන මම නොදනිමි. කෙසේවුවද ඔබ හෙළ බිමේ සුජාත පුතෙක්/දියණියක්ද නැතහොත් උපන් බිමට වැදූ මවට ණයගැති, නිහීන නිකමුන්ගේ ගණයට අයත්තෙක්ද යන්න තීරණය කිරීම ඔබ සතුය. මතක තබාගතයුතු කරුණ වන්නේ ඔබ කතාකරන වචනවලින් සහ ඔබ දක්වන අදහස් වලින්, ඔබ අයත් කවර කුලකයටද යන්න අන්‍යන්ට වටහාගත හැකි බවය. අවසන් වශයෙන් කිව යුතු යමක් ඇත. එනම් ඔබ මෙය මුල සිට නිවැරදිව වටහාගත්තේ නම් මෙම ලිපියේ අන්තර්ගතය සමගින් මාතෘකාව ගැලපීම ඔබට අපහසු නොවනු ඇත. 

අන්ටයිටල්ඩ් - දැන උගත් වැඩිහිටියන්ට පමණයි!!!!

මෙතැන් සිට ලියැවෙන වචන මේ අයුරින් ගොනු කරන්නට සිතුනේ මන්දැයි මම අවංකවම නොදනිමි. එහෙත්කර්ම චිත්‍රපටය නැරඹූවෙක් වශයෙන්එම චිත්‍රපටය පෝර්න් මූවී එකක් නැතහොත් නිල් චිත්‍රපටයක් ලෙස වර්ගීකරණය කරන්නට ඇතමෙකු දරන තුප්පහිනින්දාසහගත වෑයම පිළිබඳව මට හිතෙන හැටි නොලියාම බැරි නිසා මෙය ලියන බවනම් කිවයුතුමය.
මෙය තවත් එක මූවී රිවීව් එකක්ම නොවේ. කර්ම චිත්‍රපටයේ ගුණ වනාඑහි සුදුහුණු ගෑමට මට කිසිදු අවශ්‍යතාවක් නොමැත. ඒ සඳහා මට කිසිදු ගෙවීමක්ද නොලැබේ. ඒ හැරත්මා වැනි නිකමෙකු එහි සුදුහුණු ගාන්නට තැත් කිරීම හුදෙක් පුස්සක්ම වේ. කවර හෙයින්ද යත්කර්ම යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කැඩපතක් බඳු නිර්මාණයක් හෙයිනි. ඔබ ඔබගේ නුවණ නමැති ඇස හොඳහැටි විවර කරගෙන ගොස් කර්ම නැරඹූ විට එතුළින් සමාජයේ අඳුරුනින්දාසහගත යථාර්ථය මනා ලෙස දකින්නට හඟින්නට ලැබෙනු ඇත. නමුත් එක් වැදගත් කරුණක් නම්මෙය නරඹන්නට යාමට පෙර ඔබේ නුවණැසට ඉදිරියෙන් ඔබ පැළඳ සිටින නිල් චිත්‍රපට නම් උපැස් යුවළ ගලවා තබා යා යුතුමය. එසේ නොවුනහොත් කර්ම ඔබට කරුමයක් වනු නොඅනුමානය. මා එසේ කියන්නට හේතුව වනුයේ කර්ම යනු ජිග්සෝ ප්‍රහේලිකාවක් වැනි චිත්‍රපටයක් බැවිනි. සමස්ත චිත්‍රපටය පුරාම එහි කැබලි විසිරී ඇත. ඔබ චිත්‍රපටය නරඹන අතරතුර එහි ඇති නිරුවත් ස්ත්‍රී පියයුරු පෙන්වන දර්ශන බලා සතුටු වීමෙහි කාර්යබහුල වුවහොත්ඔබට එහි කියැවෙන සමාජ යථාර්ථය පිළිබඳ වෘත්තාන්තය වටහා ගැනීමට නොහැකිවනු ඒකාන්තය. මන්දයත් කථාන්තරය ගොඩනැගීමට අවශ්‍ය ප්‍රහේලිකා කැබලිවලින් ඔබ ග්‍රහණය කරගෙන ඇත්තේ කිසිදු වැදගත් කමක් නැති කැබලි කිහිපය පමණක් වීමයි. නොවැදගත් දේ වලින් සිදුකළහැකි කිසිවක් නොමැත. සරලවම කිවහොත් "කුකුළ් බෙටි වලින් චිකන් සුප් හැදිය නොහැක." කර්ම චිත්‍රපටයේ ඇති සුන්දරත්වය නම් එයයි. කර්ම චිත්‍රපටය "දැන උගත් වැඩිහිටියන් සඳහාම පමණක්" නැරඹිය හැක්කක් වීමට හේතුව එයයි.
දැන් කර්ම ගැන රෙකමදාරුව මදකට පසෙකින් තබා මගේ හිතේ තියෙන දේ දිහාවට හැරෙමු. මුලින්ම මෙය කියවන ඉ-පාඨක ඔබෙන් සරල පැනයක් අසන්නෙමි. "මිනිසුන් පෝර්න් මූවීස්එසේත් නැතිනම් නිල් චිත්‍රපට බලනුයේ කුමන අරමුණකින්ද?" යනු එම පැනයයි. දැන් ඔබේ සිතේ විවිධාකාර පිළිතුරු රාශියක් ගොඩනැගෙමින් පවතින බැව් මම දනිමි. එමෙන්ම සමහරු "මේ යකා මොන රෙද්දක් අහනවද මන්දා.." යනුවෙන් සිතමින් සිටිනවා වීමටද හැක. කෙසේ හෝ වේවාමට හිතෙන හැටියටනම් කෙනෙකු නිල් චිත්‍රපටයක් නැරඹීමෙන් බලාපොරොත්තු වනුයේ සිතෙහි කාමුක, එසේත් නැතිනම් රාගික හැඟීම් පුබුදුවා ගැනීමය. තේරෙන බාසාවෙන් කිවහොත්ෆෝම් කරගැනීමටය. ඒ හැරුණු කොට එහි අන්තර්ගත වෘත්තාන්තය කවරේදඑහි නළු නිළියන් කවරහුද (අද කාලේ අපි වැනි කොළු කුරුට්ටන් සඳහානම් මේ දෙවැනි කරුණ ඒ හැටිම සත්‍ය නොවේ. මන්ද බොහෝ අයට අමෙරිකානු නිල් චිත්‍රපට තාරකාවන්ගේ නම් ලැයිස්තු පිටින් කටපාඩම් නිසාය.)එහි අවසානය කෙබඳුද යන මෙකී නොකී ප්‍රශ්න කිසිවක් ඔහුට හෝ ඇයට අදාල නොවේ. වැදගත් වන එකම කරුණ නම් "ඒක කොච්චර ත්‍රිල්ද?" යන්න පමණකි. එබැවින් කිසියම් චිත්‍රපටයක් "නිල් චිත්‍රපටයක්" ලෙස වර්ගීකරණය කිරීමට පළමුඑම චිත්‍රපටය නැරඹීමෙන් ප්‍රේක්ෂකයා තුල ජනනය වන සිතුවිලි කවරාකාර වේදැයි සලකා බැලීම අත්‍යාවශ්‍යයෙන්ම සිදුකළයුතු බව අපට අවිවාදයෙන් පිළිගැනීමට සිදුවේ. "වැඩිහිටියන්ට පමණයි" යන ලේබලය රැගත් සෑම චිත්‍රපටයක්ම නිල් චිත්‍රපටයක් නොවනුයේ එබැවිනි. සිංහලෙන් "වැඩිහිටියන්ට පමණයි" යන්න "Explicit Content" යන ඉංග්‍රීසි යෙදුම වෙනුවට භාවිතා කරන්නකි. "Explicit Content" එසේත් නැතිනම් විවෘත අන්තර්ගතයන්" යන කුලකයට අයත් වන එකම අවයවය ගැහැනියක හා පිරිමියෙකු නිරුවතින් ආලිංගනයෙහි හෝ සංසර්ගයෙහි යෙදෙන දර්ශන පමණක්ම නොවේ.
දැන් මම ඔබෙන් තවත් ප්‍රශ්නයක් අසමි. එනම් "කර්ම නරඹද්දී ඔබට එවැනි කාමුක හැඟීම් පහළවීද?" නැවතත් තේරෙන බාසාවට මාරු වුවහොත් "ඔබට කර්ම නරඹද්දී ෆෝම් වුනාද?" යන්න එම ප්‍රශ්නයයි! මා මෙම ප්‍රශ්නය කිසිවෙකුගෙන් ඇසූ විට ඒ පුද්ගලයා "ඔව්" යනුවෙන් පිළිතුරු දුනහොත් ඔහුව හෝ ඇයව එල්ලා මැරිය යුතුය. කවර හෙයින්ද යත්මවක් තම දරුවාට කිරි දෙන අයුරු නරඹා හෝපිළිකාවක් වැළඳුනු එක පියයුරක් ඉවත් කර ඇති තරුණියකගේ නිරුවත් උඩුකය නරඹා තම සිතෙහි ආශක්ත හැඟීම් ජනිත කරගන්නටනම් එම පුද්ගලයා අනිවාර්යයෙන්ම මානසික රෝගියෙකු වියයුතු නිසාය. ඔබ "Serial Killers" නොහොත් මාලා ඝාතකයින් ගැන අසා ඇතැයි සිතමි. අමෙරිකාවේ ජීවත් වූ හෙන්රි ලී ලූකස් යනු එවැන්නෙකි. ඔහුගේ වචනවලින්ම ඔහු වරක් පැවසූ පරිදී "ලිංගිකත්වය මගේ හීනයක්. මිනිසුන් සමග පමණක් නොවෙයි මම සතුන් සමග පවා ලිංගිකව හැසිරී ඔවුන් මරා දැමුවා." මෙම ප්‍රකාශයෙන් ඔහුගේ මානසික මට්ටම කවරාකාරදැයි වටහාගැනීම ඔබටම භාර කරමි. ඉතින් කර්ම චිත්‍රපටයේ අඩංගුගණනින් තුනකට පමණක් සීමාවූ එවන් දර්ශන නරඹා කාමුක හැඟීම් ජනිත කරවා ගැනීම පමණක් නොවඑවන් දර්ශන ඇතැයි කියා කර්ම චිත්‍රපටයට නිල් චිත්‍රපට ලේබලය ඇලවීමට උත්සාහ කරන්නන්ද උන්මත්තකමානසික හීනෝන්මාද තත්වයට පත් වූවන් ලෙස සැලකීමේ වරදක් නැත. කොටින්ම ඔවුන්ද ලී ලූකස් වැන්නන් යැයි කීමද සාධාරණය. කවර හෙයින්ද යත් ඔවුන්ගේ මානසික හීනෝන්මාදී තත්වය නිසා ඔවුන් කර්ම චිත්‍රපටයේ චරිතයදඒ හරහා ප්‍රසන්න ජයකොඩිගේ චරිතයද ඝාතනය කරන බැවිනි. එකම වෙනස නම් මෙහිදී මනුෂ්‍ය ඝාතනය වෙනුවට සිදුකරනුයේ චරිත ඝාතනය පමණක් වීමයි.
මෙහිදී මා "කර්ම යනු පවුලේ චිත්‍රපටයක්" ලෙසින් විග්‍රහ කරන බවට කිසිවෙකු විසින් වැරදි වැටහීමක් ඇති කර නොගත යුතුය. මන්ද යත්කර්ම යනු වැඩිහිටියන්ට පමණක් නැරඹිය හැකි චිත්‍රපටයක් බැවිනි. එහි අන්තර්ගතය වටහා ගැනීමට සහ චිත්‍රපටය තුල දසත විසිරී ගිය කැබලි ඒකරාශී කොට එහි සැබෑ වෘත්තාන්තය වටහා ගැනීමට අචලතියුණුපැහැදිලි බුද්ධියක් තිබීම අනිවාර්ය වේ. එම කාරණය නිසා මෙය ළමයින්ට පමණක් නොවවත්මන් සමාජයේ සාතිශය බහුතරයක් වන නොමේරූ වැඩිහිටියන්ටද සුදුසු නොවේ. ප්‍රසන්න ජයකොඩිගේ මෙම අද්විතීය නිර්මාණය නිල් චිත්‍රපටයකැයි හංවඩු ගැසෙන්නට හේතුව තමුන් වැඩිහිටියන් යයි කියාගන්නා එවන් නොමේරූ අබුද්ධික අඳබාලයන් මෙම චිත්‍රපටය නැරඹීමය. අවසන් වශයෙන්මෙම වැල් බයිලාවට නැවතීමේ තිත තබන්නට පෙරාතුවඑවන් අඳබාල නොමේරූ වැඩිහිටියන්ට අවවාදයක් දෙනු කැමැත්තෙමි. එනම්, "තමන්ගේ හිතට එන සියලුම අදහස් වචන වලට පෙරලා ප්‍රසිද්ධ කිරීම එතරම්ම නුවණට හුරු නොවේ. මන්දයත් කටවහගෙන සිටිනතාක් ඕනෑම මෝඩයෙක් පණ්ඩිතයෙකු සේ පෙනෙන බැවිනි."

Saturday, March 1, 2014

මේ කවුද??? මොනවද කරන්නේ???

ඉතින් කොහොමද?? මම තමයි රෝමියෝ! හැබැයි අර ජුලියට්ගේ රෝමියෝ නෙවේ. මේක නිකං ආතල් එකට දාගත්ත නමක්. නික්නේම් එකක් කිව්වට වරදක් නැහැ. මේ නමේ ඔරිජිනේෂන් එක ගැන දැනගන්න කැමතිනම් phonetic alphabet කියන එක ගූගල් කරලා බලන්න. වැඩේ ගොඩ.. :)
කෝමින් බෝමින් හරි, මේ වෙබ් ලොග් එක විවෘත කරලා අවුරුදු තුනක් විතර ඔහේ නිකං තිබ්බා. ඒ අස්සේ වෙන බ්ලොග් එකක දෙකක නිකං කණ කැස්බෑවා මොකක්ද එකෙන් අහස බලනවා වගේ ඉඳල හිටලා පෝස්ට් එකක් දෙකක් කෙටුවා මිසක්ක මගේම බ්ලොග් එක පිළිවෙලකට ලියාගෙන යන්න තරම් වුවමනාවක් තිබ්බේ නැහැ. ඉතින් දෙයියනේ කියල අපේ ජීවිතේ මල් මැඩම් ලියන සංසාරේ අපි කියවන්න පටන් ගත්තට පස්සේ තමා මගේම කියල තියන එකම බ්ලොග් වැයික්කිය, ටිකක් පිළිවෙලට පිරිසිදුවට මේන්ටේන් කරානම් හොඳා කියල හිතුනේ. එහෙම හිතල බැලුවම, මේක කරන්න ඉන්ස්පිරේෂන් එක වුණේ මැඩම් කිව්වට වරදක් නැහැ.
අනික් එක තමා මම මේ වගේ වැඩක් එළඹ සිටි සිහියෙන් ඉඳගෙන හරියට කරන්න පුළුවන් ජාතියේ එකෙක් නෙවෙයි. මම ඇවිල්ල අමුතුම නොම්මරයක්! මෙහෙම කයිවාරු ගහල මේක පටන් ගත්තට කොයි කොයි විදිහට මේවා ඉවර වෙයිද දන්නේ නැහැ ඉතින්!!!! :D ඒනං ඉතින් අද ඉඳලවත් මේක හරිහමන් විදිහකට කරන්න ට්‍රයි එකක් දෙන්නම්කො. මෙන්න පිළිගන්න, "මගේ වැයික්කිය!"... :)